02. හෙයා ක්‍රීම්

Background color
Font
Font size
Line height

02. හෙයා ක්‍රීම්...

යළිත් කාර්යාලයට යාමට මම ප්‍රමාද වූවෙමි. යළිත් අවුල් වූ ඇඳුම් මගේ ගත දැවටී තිබූ අතර යළිත් උදෑසන ආහාරය කලබලයෙන් ගිල දැමීමට සිදු විය. එය ආහාරයක් නොවේ... යළිත් ටෝස්ට් පෙති දෙකක් සහ කෝපි බඳුනකි.

මම සිහිනයෙන් මෙන් ඊයේ රාත්‍රියේ නිමකල පැවරුම මගේ ප්‍රධානියාට ලබා දුන්නෙමි.

" සිගෝර්, මම කෝල් කරනකොට මගෙත් එක්ක මීටින් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නවා..." ඔහු මා දෙස බැලීමට හෝ  උනන්දු නොවෙමින් මාස්ටර් ගිලියන් පැවසුවේය.

" හොඳමයි මාස්ටර්..." ඔහුට හිස නැවූ මම ඔහුගේ කාර්යාල කාමරයෙන් පිටතට ඇවිද ගියෙමි. ඔහු ඇමතුමක් ලබා දෙනතුරු මේසය මත හෝ නිදාගත යුතු බව මම සිතුවෙමි.

" කෙනත්...කෙනත්..." කිසිවෙකු හෝ මගේ නම කියා හඬගාන ආකාරය මට ඇසුනි. කොරිඩෝවේ කිසිවෙකු නොසිටි අතර නිසැකවම හඬ නැගෙන්නේ කළමණාකරුවෙකුගේ කාර්යාලයකින් විය යුතුය. මෙහි මගේ පළමු නමින් කතා කිරීමට තරම් මට සමීප කවරෙක්දැයි මම සිතුවෙමි.

" කෙනත්..." දොරකින් පිටතට සිනහමුසු මුහුණක් එබුනේය. " මිස්ටර් හාටි..."

" දැන් වෙන වැඩක් නැත්නම්, එන්න ඇතුළට... " ඔහු පැවසුවේය.

ඉවාන් හාටි මාගේ වැඩ අංශය බාර කළමණාකරුවෙකු වූවේය. ඔහු මට නිතරම කාරුණික වූවේය. ඔහු සහ මම වසර කිහිපයක්ම එකම උසස් පාසලේ අධ්‍යාපනය ලැබීම ඒ කාරුණික බවට හේතුව බව මම සිතුවෙමි. ඔහු මට වඩා වසරකින් වැඩිමහළු වූ අතර දීප්තිමත් ශිෂ්‍ය නායකයෙකු ලෙස ඔහු මගේ මතකය තුළ සිටියේය.

" ඉඳගන්න... " සෝෆාව පෙන්වමින් ඔහු පැවසුවේ උණු වතුර ෆිල්ටරය වෙත ගමන් කරමිනි.

" මට ආරංචි උනා මාස්ටර් ගිලියන් ඊයෙ ආපහු කෙනත්ව අල්ලගත්තා කියලා... ඒ වගේ හදිස්සි වැඩක් ඔෆිස් වෙලාවෙන් පස්සෙ ඔයා වගේ කෙනෙක්ට දුන්න කිව්වම මට පුදුමත් හිතුනා..."

" කිරි ?! " ඔහු අසද්දී මම හිස සෙලවූවෙමි.
ඉවාන් මා වෙත ග්‍රීන් ටී කෝප්පයක් ගෙන ආවේය.

" 'ඔයා වගේ කෙනෙක්ට ?!" මම මගෙන්ම ඒ පැනය විමසා ගතිමි. ඔහු ඉන් අදහස් කරන්නේ කුමක්ද ?

" මම උදේට කන්න ලෑස්ති වෙලයි හිටියෙ...එන්න..." ඔහු පවසන ආකාරය මට ඇසුනි. " කෙනත්..."

" ආ...සමාවෙන්න... මම වෙන කල්පනාවක හිටියෙ...ස්තූතියි !"
මම  ගෑරප්පුවට ඇමිණුන පාස්තා කැබලි කිහිපයක් මුව තුළට රුවා ගත්තෙමි.

" ඔයා වගේ කෙනෙක්ට..." යළිත් එය මගේ හිස තුළ දෝංකාර දුන්නේය. ඔහු එයින් අදහස් කලේ මගේ අකාර්යක්ෂමතාවය ගැන විය යුතුය. මම ඉතා සෙමින් වැඩ කරන්නෙකු බව ඔහු නිසැකවම දැන සිටියේය. පාසලේදී මා ක්‍රීඩා සඳහා උනන්දු කිරීමට ඔහු දැරූ වෙහෙස මට එක්වරම සිහිපත් විය. අසනීප බව පවසා රුක් සෙවණක හිඳ සිටීමට මට ඇවැසි වුවත් ඔහුට ඇවැසි වූවේ මා ගිණි අව්වේ ක්‍රීඩා පිටිය වටා වේගයෙන් දුවන ආකාරය දැකීමටයි !

" ...මම කියන්නෙ කෙනත්, ඔයා ඕනාවට වඩා වැඩ කරනවා. මේ ගැන මිස්‍ටර් ගිලියන් එක්ක මම කතා කරන්නයි ඉන්නෙ. ඔයාට අයිතියක් තියනව කාර්යාල වෙලාවෙන් පස්සෙ දෙන ඕනම වැඩක් ප්‍රතික්ෂේප කරන්න... " ඉවාන් පවසන ආකාරය මට ඇසුණි.

" පාන්දර කීය වෙනකම් හිටියද ?"

" දෙක..." මම කෙටියෙන් පිළිතුරු දුන්නෙමි. බටර් මුසු මෘදුවට තැම්බුණු එළවළු සහ පාස්තා කැබලි මගේ මුව තුළ දියවී ගියේය. කුඩාවට කපා තිබූ බදින ලද මස් කැබලි විටින් විට දත් අතරට පැමිණියේය.

" මීට පස්සෙ එහෙම දෙයක් වුණොත් මට කතා කරලා කියන්න ඕන... කෙනත්ට දෙන වැඩ ගැන තීරණය කරන්නෙ මම. මමයි ඔයාගෙ මැනේජර්... මම හරහා තමයි ඔයාට ඕනම දෙයක් යන්නෙ... තේරුනාද ?"

" ඔව්..." ගෑරප්පුව පහත හෙළමින් මම පැවසුවෙමි.

" ස්...ස්තූතියි මිස්ටර් හාටි... මන් ගැන වද වුනාට..."

" කෙනත් මට 'මිස්ටර් හාටි' කියනකොට අමුතුයි..." ඔහු සිනාසෙමින් පැවසුවේය.

"මෙතනදි  ඉවාන් අයියේ ... කියන එක මට අමුතුයි..." මම සිනාසෙමින් පැවසුවෙමි.

"  එහෙම කතා කරන්න ගොඩක් අය නෑ. ඒක හරි හිතවත්..."
ඔහු හොඳින් සකසා තිබුනු කළුවන් හිසකෙස් අතරින් ඇඟිළි යැව්වේය. ඔහුගේ නිල් පැහැති දෙනෙත් දිළිසුන ආකාරය මට පෙනුනි. ඒවා තරමක් ශෝකී හැඩයකින් යුතු බව මම නිතරම සිතුවෙමි. උසස් පාසලෙන් ඉවත් වී දැන් වසර ගණනාවක් ගත වී ඇත. ඉවාන් සහ මම සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙමින් සිටියෙමු. අප දෙස බැලූ පමණින් එය පිටතට පැහැදිලි වේ.

" කෙනත්, බඩ පිරුණද ? "
ඉවාන් විමසූ අතර මට වැටහුණේ මම ඔහුගේ උදෑසන ආහාර වේල සම්පූර්ණයෙන්ම අනුභව කර ඇති බවයි.

"...ඔයා මැනේජර්ස්ලගෙ වොශ් රූම් එකට ගිහින් ලෑස්තිවෙලා එන්න කැමතිද ?" මම යමක් කියන්නට උත්සහ කරද්දී ඉවාන් මගෙන් ඇසුවේය. ඔයා අවුල් ජාලයක්..."

"මම... ආ....මම මේ..."

" හරි හරි මම ඒක ඔයාට ගෙනාවෙ... " ඔහු මට ඔහුගේ හැඳුනුම්පත ලබා දෙමින් පැවසුවේය.
" ...ඔයාට ඕනනම් නාගන්නත් පුලුවන් ! මීටින් එක දහය විතර වෙනකම් පටන් ගන්නෙ නෑ..."

===========

මම ඉවාන් ගේ කාරුණික බවට ස්තූතිවන්ත වූවෙමි. කළමණාකරුවන්ගේ සේදුම් කාමර සියලු පහසුකම් වලින් යුතු වූ අතර මම මගේ පොඩි වී ගිය ඇඳුම් වල රැළි ඉවත් වීමට ස්ටීම් කුටිය තුළ එල්ලා තැබුවෙමි.

උණුසුම් ජලය මගේ හිස මතට පතිත වෙද්දී මට නිදිබර ගතියක් දැනෙන්නට වූ අතර එය සුවපහසු බවක් දැනෙන්නට විය.
මම මගේ පැවරුම නිම කර ඇති අතර ඉවාන් නිසා සැහැල්ලු ගතියක් අත් විඳිමින් සිටිමි. මම දෙනෙත් පියාගතිමි.

" මාස්ටර් මොරානා ගැන මොකද හිතෙන්නෙ...! "
එක්වරම ඒ පැනය මගේ හිස තුළ පුපුරා ගියේය.

    පැවරුම නිම කලේ මාස්ටර් මොරානාය. ඔහු නොවන්නට මට මේ වනතුරු එය නිම කිරීමට නොහැකි වනවා නිසැකය.
ඒ අවතාරයක් බව සිතුවත් එය යථාර්තය නොවන බව මම දැන සිටියෙමි. ඔහු ලෙයින් සහ මසින් සැදුනු මිනිසෙකු ලෙස මා පසුපස සිටගෙන සිටියේය. ඔහු ගැන සිහිපත්වෙත්ම මගේ හිස යළිත් බර වූ අතර මම ඉක්මනින් ස්නානය අවසන් කලෙමි.

කිසිඳු කළමණාකරුවෙකු නොදකින ලෙස මා ප්‍රවේසම් විය යුතුය. එසේ නොවුනහොත් නිසැකවම ඉවාන් දෝෂාරෝපණයට ලක් වීමට ඉඩ ඇත. මම ඉක්මනින් හිස වේලාගෙන මගේ ඇඳුම් ඇඳගතිමි. ඒවා උණුසුම්ව තිබීම මගේ සිතට මද සතුටක් ගෙන ආවේය.

" well well, seems like we have a new manager..."
හදිසියේම සේදුම් කාමරය හඬකින් දෝංකාර දුන් අතර මම තිගැස්සුනෙමි.

" ම්....මාස්ටර් මොරානා..."
කළු පැහැති අගනා කමිසයක රෝල් කල දෑත් පහතට නවමින් ඔහු මා දෙස බලා සිටියේය. ඔහුවෙතින් දිස් වූවේ නැවුම් පෙනුමකි. රන්වන් පැහැති කෙස් අවුල් වී තිබූ හෙයින් ඔහු මේ දැන් ශවරයෙන් පිටතට පැමිණි බව මම වටහාගතිමි.

මම වහාම ඉවාන්ගේ හැඳුනුම්පත සාක්කුව තුළට රුවා ගත්තෙමි. මට සිතමින් සිටි සියළු ආත්මාරක්ෂක හේතු ඔහු ඉදිරියේ හිතළු බව මම සිතුවෙමි. මම මොහොතකට පෙර ඔහු ගැන සිතුවා නොවේද ? ඔහුඑසැනින් මා ඉදිරියේ පාර්දූර්ත වූවේ කෙසේද ?

ඔහු වෙස් මාරු කරන අවතාරය වීමට තවත් ඉඩ තිබේද ?

" ආ....ම්....මාස්ටර් මොරානා..." මම හදිසියේම පැහැදිලි ලෙස කතා කළෙමි.

" ඊයෙ රෑ ගැන.... මම...මට උදව් කලාට, මම කිව්වෙ මගේ වැඩේ ඉවර කරල දුන්න එකට ගොඩක් ස්තූතියි ! " මම හිස නවා ඔහුට ස්තූති කළෙමි.
"...ඒ වගේම මට මේ වොශ් රූම් එක පාවිච්චි කරන්න උනා මීටින් එකට යන්න කලින්...ඒකට..."

" හරි හරි..." මොරානා පැවසුවේය. " ඔයා ඇත්තටම හොඳින් නම් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි...ඔයා හොඳින්ද ? "

ඔහු මා වෙත නැඹුරු වෙමින් ඇසුවේය.

මම පෙරදා රාත්‍රියේ හැසිරුණ ආකාරය සිහිපත් වීමෙන් මගේ මුහුණ රතු පැහැයට හැරුණි.

" මම...මම ටිකක් බය උනා ! ඔව්...ටිකක් බය උනා..." මම ඇත්තම හේතුව පැවසුවෙමි.

මොරානා  සිය හිසකෙස් අවුස්සා ගනිමින් උස් හඬින් සිනාසුනේය.

" මම ඔයාව බය කරන්න හිතුවෙ නෑ... " ඔහු පැවසුවේ හෙයා ක්‍රීම් සහිත බඳුනක් කුඩා බෑගයකින් පිටතට අදිමිනි.

" මම එකපාරම සතුටු උනා ඊයෙ රෑ මාත් එක්ක මේ හොල්මන් ගුහාවෙ ඉන්න තව කෙනෙක් හිටියා කියල දැක්කම... හැබැයි අන්තිමට එයත් බයේ පැනල දිව්වා... "

ඔහු සිය හිසකෙස් මත හෙයා ක්‍රීම් තලියක් ගැල්වූ අතර එයින් ප්‍රසන්න සුවඳක් වහනය විය.

" ...ඕන එකක් ගන්න..." සිය බෑගය මා වෙත තල්ලු කරමින් ඔහු පැවසුවේය. ඒ තුළ සුවඳ විළවුන් සහ වෙනත් ආලේපන රාශියක් විය. ඒවා අනර්ඝ සහ මිල අධික ඒවා බව මට එක බැල්මෙන්ම පැහැදිලි විය.  මට ඔහු තරම් සුවඳ විහිදුවමින් කැපී පෙනීමට අවශ්‍ය නොවූ නිසා මම හැකිතරම් සාමාන්‍ය නිශ්පාදනයක් තෝරාගැනීමට උත්සාහ කලෙමි.
එය අසාර්ථක වූ තැන මම පනාවක් ගෙන මගේ කෙස් වැටිය පීරාගැනීමට උත්සාහ කලෙමි.

ඔහු මෙතරම් ආම්පන්න තොගයක් රැගෙන කාර්යාලයේ ඒ මේ අත ඇවිදින්නේ ඇයි ?

මගේ ගණැති කළු කොණ්ඩය අකීකරු ලෙස ඒ මේ අතට විසිරීම සුපුරුදු පුරුද්දක් විය. එම නිසා මම සරලවම එය එසේ තිබෙන්නට ඉඩ හරිමි.

" කෝ බලන්න..."
මොරානා මගේ උරහිසකින් අල්ලා ඔහු වෙත හරවා ගත්තේය. ඔහු මගේ විරෝධය නොතකමින් හෙයා ක්‍රීම් තලියක් මගේ හිස මතට දැමුවේය.

" මේකෙ සුවඳ වැඩියි... " මම විරෝධය පෑවෙමි.

" මිස්ටර් සිගෝර් මේ මාසෙ පඩි ගත්තම ගිහින් කොණ්ඩෙ හදාගන්න ඕන..."

මම ඇස් හීනි කරමින් ඔහු දෙස බැලුවෙමි. ඔහු එසේ පවසන්නේ ඇයි ?
" ඉස්සරහ බලාගන්න..." ඔහු මගේ හිසකෙස් සැකසූ අතර මම රූකඩයක් මෙන් ඒ මේ අත හැරෙමින් සිටියෙමි.

" ආආ... cute.." ඔහු සිය කාර්යය අගය කරමින් පැවසුවේය. කැඩපතින් දිස් වූ මගේ පිළිඹිබුව මාගේම නොවන බව මම සිතුවෙමි.
එහි යම් කිසි ආකර්ෂණයක් නැතුවාම නොවේ.

ඔහුගේ දිගු ඇඟිලි මගේ උරහිස් මත ඇති අයුරු මට දැනුනු අතර විසල් කැඩපත තුළින් මගේ හිස මතින් දිදුලන කහ පැහැති දෙනෙත් මම දුටුවෙමි.

" මම දැන් යන්න ඕන..." යි කියූ මම ඔහුගේ අත උරහිසෙන් ඉවත් කර දොර දෙසට හැරුණෙමි.
"...මෙහෙම ලස්සනයි...ගොඩක් ස්තූතියි මාස්ටර් මොරානා ! " මම පැවසුවෙමි.

ඔහු හිස සෙලෙව්වේය. " මේක තියාගන්න..." ඔහු  මගේ අතෙන් හෙයා ක්‍රීම් බඳුන තැබුවේය.
එය ප්‍රතික්ෂේප කිරීම ආචාරශීලී නොවන බව මම සිතුවෙමි. මම ඔහුට කෘතඥ වූවෙමි.

" ඔයාගෙ නම මොකක්ද ? "  මම දොර විවර කරත්ම ඔහු ඇසුවේය. මාස්ටර් මොරානා මේසයට බර වී හිඳ සිටියේය. ඔහුගේ අත්ඔරලෝසුවෙන් පරාවර්තනය වූ ආලෝකය මගේ මුහුණට වැදුනි.

" ආ ?" ඔහු මගේ නම නොදැන සිටීමට අවස්ථාවක් නැත.

" මුල් නම ?" ඔහු පැහැදිලිව ඇසුවේය.

" අම්...කෙනත්..." මම පුදුමයෙන් සහ කිසියම් ආගන්තුග හැඟීමකින් යුතුව පැවසුවෙමි. ඔහු හිස සෙලෙව්වේය.

  දොර විවර කරත්ම මම දුටුවේ බිත්තියට පිට දී සිටින ඉවාන් ය.
" මොකද මෙච්චර වෙලා ගත්තෙ ? ඔයා හොඳින්ද ? "  ඔහු ඉක්මනින් ඇසුවේය. මම ඔහුගේ අතට හැඳුනුම්පත ලබා දුන්නෙමි.
"...කොණ්ඩෙට මොකද උනේ ? " ඉවාන් ඇසුවේ මගේ කොණ්ඩ කූරු අල්ලා බලමිනි. ඔහු පාසලේ සිටි ශිෂ්‍ය නායක චරිතයට ආරූඩ ව සිටින සෙයකි.

" එහෙම හොඳයිද ? " මම ඇසුවෙමි.

ඉවාන් මගේ පෙනුම විනිශ්චය කරන අයුරින් හිස මදක් ඇල කරගෙන මා දෙස බලා සිටියේය.

" අම්... අවුලකුත් නෑ... මන් කැමතියි කලින් විදිහට තිබ්බනම්...කොහොම උනත් ඔයාට හොඳයි නම් මටත් හොඳයි...  "

මම සිනාසුනෙමි. බොහෝ කලෙකට පසුව මගේ මුහුණට අවංක සිනහවක් පැමිණි බව මම වටහා ගතිමි.
" මමත් ගිහින් එන්නම්කො...ඔයා ගිහින් මීටින් එකට රෙඩි වෙන්න..." පැවසූ ඉවාන් සේදුම් කාමරයට ඇතුළු විය.

ඔහු මාස්ටර් මොරානාට සුබ පතන ආකාරය මට ඇසුනි.

====

මින් පෙර මම යන පුද්‍ගලයා ඔවුන්ගේම කාර්යාලයේ සිටින බව නොතැකූ පුද්ගලයන් මා දෙස බලන ආකාරය මට දැනුනි. මටම ආගන්තුග කාන්තාවෝ සහ පිරිමි මා දෙස බලා සිටියෝය. එය කරදරකාරී හැඟීමක් විය.

" වාව්...කෙනත්, අද ඔයා කොණ්ඩෙ හදල තියන හැටි ලස්සනයි..."
කාර්යාල කාමරයේ මා සමග කතාබහ කරන එකම මිතුරිය වූ ඉවාරා පැවසුවාය.

" නිකන් හෙයා ක්‍රීම් එකක් විතරයි..." මම අවංක වෙමින් පැවසුවෙමි.

" ඒක නියමයි..." ඇය පැවසුවේ සිය ජංගම දුරකතනය මා දෙසට මානමිනි.

" ඒයි....එපා...." මම ඇගේ ඡායාරූප වලට පෙනී නොසිටීමට උත්සහ කලෙමි.

" ඉන්නවකො මේක ලූක් දකිනකම් ! " ඇය පැවසුවේ සිනාසෙමිනි.

" මිනිහට නම් යවන්න එපා..." මම ඇගෙන් දුරකතනය උදුරා ගැනීමට තැත් කලත් එය අසාර්ථක විය.

"...අයියෝ..." මම වැළපුනෙමි. "...මම යනව මේක හෝදගෙන එන්න..."

" නෑ නෑ පිස්සුද ? " ඉවාරා මා වළක්වමින් පැවසුවාය. "... අද තමයි මේකෙ ඉන්න සමහරු කුම්භකර්ණයෝ  කෙනත් කියල කෙනෙක් ඉන්නව කියලත් දැක්කෙ..."

ඇය ඇගේ අසුන මා වෙත ළං කරගනිමින් පැවසුවාය.
" ලූක් එන්න තව දවස් කීපයක් තියනව. නරකද අපි පොරට අපි වෙනුවෙන් මොනා හරි ගණන් දෙයක් ගේන්න කිව්වොත් ? " ඉවාරා කුමණ්ත්‍රණකාරී හඬකින් ඇසුවාය.

මම හිස සෙලවූවෙමි. ලූක් ගේ පැමිණීම මගේ සිත කුල්මත් කරන සිතුවිල්ලක් විය ! මම හිස සෙලවූවෙමි.

බැරෑරුම් සහ අඳුරු සිතුවිලි මොහොතකට මා වෙතින් ඉවත්ව ගොස් තිබුනි. මම සුවදායී හැඟීමකින් යුතු වූවෙමි.

===== 3 කොටසට =======
©® සියලු හිමිකම් ඇවරිනි.
උපුටාගැනීම තහනම්.


You are reading the story above: TeenFic.Net