01.වෙස් මාරු කරන අවතාරය

Background color
Font
Font size
Line height

01. වෙස් මාරු කරන අවතාරය

ඔහු මා පසුපසින් සිටගෙන මා වෙත නැවී සිටියේය.
ඔහුගේ කොපුල් මගේ කොපුල් හා සියුම් ලෙස ස්පර්ශ වූවේය.
ඔහු වෙතින් හමා එන විලවුන් සුවඳින් මගේ නාස් පුඩු පිරී යන්නට විය.
ඔහුගේ අතැඟිලි අතර මගේ අතැඟිලි සැහැල්ලුවෙන් රැඳී තිබුනි. එහෙත් මට ඒවා මුදා ගැනීමට නොහැකි තරමට ඔහු ඇඟිලි සිරකරගෙන යතුරු පුවරුව පුරා අතැඟිලි යවමින් සිටියේය.

මම යමක් පවසා නැගී සිටීමට උත්සාහ කලෙමි. ඔහු මගේ අතැඟිලි තදින් සිර කරගත්තේය.

" මේක දිහා බලාගන්න..." ඔහු මගේ කණට කෙඳිරුවේය.

ආලොකමත් තිරය පුරා අක්‍රමවත් අකුරු සහ ඉලක්කම් සටහන් වෙමින් තිබුනි. ඔහු මගේ වැඩ පැවරුම නිම කරමින් සිටියේය.

"ඒ....ඒත්...."

"ඒත් මේත් බක් බක් නෙමෙයි... මේක ඔයාට කරල දෙන්න මෙතන වෙන කවුරුත් නෑ කෙනත්... දැන් රෑ දොළහත් පහු වෙලා... තව කොච්චර වෙලා ඉන්නද කල්පනාව ? "
ඔහු ඇසුවේය.

ඈත්මෑත්ව තිබූ ජනෙල් තීරු අතරින් පෙනෙන රාත්‍රී නියොන් ආලෝක දෙස මම කණස්සල්ලෙන් බැලුවෙමි.

මෙම රැකියාවට පැමිණි දින සිට වේලාසන කාර්යාලයෙන් පිටව ගිය දිනයක් ගැන මට මතක නැත. නිතරම මට රෑ බෝවන තුරු වැඩ කිරීමට මට සිදු විය. කාර්යයේ බැරෑරුම්කමට වඩා ඒ මගේ අඩු කාර්යක්ෂමතාව නිසා සිදුවන්නක් බව මම දැන සිටියෙමි.

ඔහු මගේ දෑත් ග්‍රහණයෙන් මුදා හැරියේය. මම වහාම අසුනෙන් නැගිට පසෙකට වූවෙමි. එහෙත් ඔහු අසුනේ හිඳ නොගත්තේය.

මගේ සිත විවිධාකාරයේ සිතුවිලි වලින් පිරී යමින් තිබුනි.

මගේ පළමුවන සිතුවිල්ල වූවේ මෙතරම් රෑ බෝ වනතුරු ඔහු කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටියේ මන්ද යන්නයි.
ඔහුට අවශ්‍යනම් කාර්යාල වේලාවට ප්‍රථමව වුවත් පිටව යා හැකිය.

අනෙක් වැදගත් සිතුවිල්ල නම් ඔහු මගේ කාර්යාලයේ කරන්නේ කුමක්ද යන්නයි. ඔහු වෙනත් අංශයක ප්‍රධානියා වූවේය.
මගේ අතැඟිලි වලින් හිරියක් නැගී ආවේය. මම ඒවා ගසා හෙළුවෙමි. ඔහු හදිසියේම එවැන්නක් කලේ මන්දැයි මම සිතුවෙමි.

එය ක්ෂණයක් විය. ඔහු මා පසුපසින් සිටගෙන මා වෙත නැවී මගේ අතැඟිළි ඩැහැ ගත්තේ එක් ක්ෂණයකින් විය.

මම ඔහු දෙස බලා සිටියෙමි. පරිගණක තිරයෙන් විහිදෙන ආලෝකය ඔහුගේ මුහුණ මතට වැටී තිබුණි. ඔහුගේ තියුණු නිකට සහ නාසය ආලෝකමත් පසුබිමේ කැපී පෙනුනි. රන්වන් රිදී පැහැයකට හුරු හිසකෙස් වඩා සිනිදු ලෙස දිස් විය. හොඳින් වැඩුණු ඔහුගේ සිරුර මේසය මතට බරවී තිබුනි. ඔහුගේ වයස ගැන ආයතනයේ සේවක සඟයන් අතර බොහෝ කටකතා ඇති වී තිබුනි. ඔහු මැදි වයස පසු කරමින් සිටින බව නිසැකය. එහෙත් ඔහු ඊට වඩා බෙහෙවින් තරුණ විය. එය විස්තර කල නොහැකි වයසක් ලෙස මට හැඟෙන නිසා ඔහු පරිණත වයසක සිටින බව මම අනුමාන කලෙමි.

යන්තමට රැළි ගැසී තිබෙන නළල් තලයට යටින් වූ ඔහුගේ ඇස් හදිසියේම දිදුලන්නට විය.

" මිස්ටර් සිගෝර් මගේ මූණට ආසයිද ?! " ඔහු ඇසුවේ සිය කඳ කෙළින් කර ගනිමිනි.

" ආ.... මොකක් ? " හදිසියේම ඇසූ පැනය නිසා මම නිරුත්තර වීමි.

" මම දැකල තියනව නිතරම මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා ! "

" ඔහ්...අ..." මගේ මුව තුළ වචන සිරවී තිබූ අතර ඔහු පවසන්නේ කුමක් ගැනදැයි නිනව්වක් මට නොවීය. එය ප්‍රතික්ෂේප කිරීමට මුව විවර කළත් හදිසියේම මට වැටහුණේ මම තවමත් ඔහු දෙස බලා සිටින බවයි. මගේ මුහුණ ක්ෂණිකව රත් පැහැයට හැරුණු අතර මම වහාම ඔහු වෙතින් දෙනෙත් ඉවතට ගෙන දොර දෙස බැලුවෙමි. එය වසා දමා තිබෙන ආකාරය මට පෙනේ.

" මේක මම ඉවර කලා...දැන් මිස්ටර් සිගෝර් ගෙදර යන්න..." ඔහු පැවසුවේ මගේ නිකටෙන් අල්ලා ඔහු වෙත හරවා ගනිමිනි.

" ගොඩක් ස්තූතියි ම්...මිස්ටර් මොරානා..." වියළි උගුරකින් යුතු වූ මම පැවසුවෙමි. ඔහුගේ හැසිරීම මට නරක යමක ඉවක් ගෙන ආවේය.
මම ඉක්මනින් පරිගණකය වසා දමා මගේ කුඩා බෑගය සහ කුඩය අතට ගතිමි.

" ...මම එහෙනම් ගිහින් එන්නම්..." මම මදක් හිස පහත් කරමින් පැවසුවෙමි. මොරානා අසල මේසය මත හිඳගෙන හිස සෙලෙව්වේය. ගැඹුරු කොළ පැහැයකින් යුතු ඔහුගේ දෙනෙත් නියොන් ආලෝක බුබුළු දෙකක් මෙන් බබළමින් තිබුනි.

" හොඳයි හොඳයි... " ඔහු පැවසුවේය. මම ඉක්මනින් දොර වෙත ඇවිද යන්න වූවේ අපරාධකරුවෙකු වෙතින් ඉක්මනින් ඈත් වන ආකාරයේ හැඟීමකිනි. කුමක් හෝ හේතුවක් නිසා මට අනතුරුදායක හැඟීමක් දැනෙමින් තිබුනි.

පුටුවක හැපුණු මා වැටෙන්නට ගිය අතර දොර අඟුළු වැටී ඇති ආකාරයක් විය. දහදියෙන් තෙත්ව තිබූ මගේ අත්ල දොරගුළ ග්‍රහණය කරගත්තේ නැත. මම පිස්සුවෙන් මෙන් දොරගුල සොලවන්නට වූවෙමි.

හදිස්සියේම මගේ ගෙල පසුපසට සුසුමක උණුසුම දැනුණු අතර ඔහු මා පසුපසින් සිටගෙන සිටියේය. මම දොරට බර වූවෙමි. ඔහු මගේ වෙව්ලන අත කිටිකිටියේ තද කරගෙන සිටි දොරගුල කැරකුවේය. එය සැනින් විවර වූ අතර මම කොරිඩෝවට විසි වූවෙමි. දොර අගුළු ලා තිබී නැත !!!

" මිස්ටර් සිගෝර්.... ඔයා හොඳින්ද ? "

ඔහුගේ අඳුරු සෙවණැල්ල යෝධයෙක් මෙන් මා ඉදිරියේ නැගී සිටි අතර මා වෙත සෙමින් පහත් වෙමින් සිටියේය.

" මම හොඳින්....මම හොඳින්..." යි සිහිනයෙන් මෙන් කෑ ගැසූ මම මද ආලෝකයෙන් යුතු කොරිඩෝව දිගේ දිව යන්නට වූවෙමි.

සෝපාවට ආසන්න වන විට මම දෙපා පැටලී බිම ඇද වැටුණු අතර ඔහු කොරිඩෝව මැද සිටගෙන මා දෙස බලා සිටියේය.

මම බඩගාමින් ගොස් සෝපාවට ගොඩ වූවෙමි.

" මිස්ටර් සිගෝර්... " ඔහුගේ හඬ සෝපානයේ දොරෙහි "ක්ලින්ග්" හඬින් මැකී ගියේය. මම වේගයෙන් හුස්ම ගනිමින් සහ ගල් වූ ගතකින් යුතුව සෝපානයට බර වී උන්නෙමි.

අන්ධකාර පිළිගැනීමේ ශාලාව පසුකළ මම එළිමහනේ සිමෙන්ති කැට ඇල්ලූ බිමට පය තබා උසට උසේ පෙනෙන කාර්යාල පරිශ්‍රය දෙස බැලුවෙමි. මහල් තිස් දෙකකින් සමන්විත වූ එහි එකඳු කුටියකවත් ආලෝකයක් නැත. කාර්යාල පරිශ්‍රයේ කිසිවෙකු නැත ! .එය අන්ධකාරයේ ගිලී තිබේ. ඔහු මෙහි හොල්මන් කරමින් කුමක් කරනවාද ?

මම මෙහි නිදි කිරා වැටෙමින් කුමක් කරනවාද ?

මගේ කුඩා විදුලි ස්කූටරය ගැනීමට රථගාලට යාමටවත් ප්‍රමාද නොවූ මම කුලී රථයකට ගොඩ වූවෙමි.

මම වේගයෙන් හුස්ම අල්ලමින් සිටි නිසා කුලී රථ රියදුරා පසුපස හැරී බැලුවේය.
" සර් හොඳින් ද ?"

මම හිස සෙලෙව්වෙමි. " ඉක්මනට යන්..."

මාස්ටර් මොරානා ලෙස ඒ පැමිණ සිටියේ අවතාරයක් බව මගේ සිත තරයේ පවසමින් සිටියේය. අපගේ විසල් කාර්යාල පරිශ්‍රය තුළ අවතාර කිහිපයක් ඒ මේ අත සැරිසරන බවට මම අසා තිබුනෙමි. බොහෝ දෙනා එකක් හෝ කිහිපයක් දැක තිබුනි. අවතාර අතර දූෂිත අධ්‍යක්ෂකවරයෙක් සිටින අතර ඔහු බොහෝ විට ස්වරූපය වෙනස් කරන බව කටකතා වල කියැවුණි.
එම අවතාරය මාස්ටර් මොරානාගේ ස්වරූපය ගෙන පැමිණියා විය යුතුය. මන්ද යත් කාර්යාලයේ වෙන කිසිවෙකුත් නොවූ බැවිනි.

සැබවින්ම මාස්ටර් මොරානා පැමිණෙන හඬක් හෝ මට ඇසුනේ නැත. අසාමාන්‍ය ලෙස දිළිසෙන ඒ දෙනෙත් මිනිසුන්ට පිහිටන්නේ නැත. අවතාරය තවමත් මා පසුපසදැයි මම පසුපස හැරී බැලුවෙමි. එහෙත් කිසිවෙකු කුලී රථය පසුපසින් පාවෙමින් පැමිණියේ නැත.

හෙට සිට කාර්යාල වේලාව අවසන් වූ පසු නිවස බලා යාමට මම තීරණය කළෙමි. පාලන අධිකාරිය මාස හයකට පෙර මගේ අතිකාල දීමනාව හරි අඩකින් අඩු කර තිබුනි. ඊට හේතුව වූවේ මම අතිකාල දීමනා ලබා ගැනීමට හිතා මතාම අමතර වේලාවක් වැඩ කරනා බව ඔවුන් සිතූ බැවිනි.

රියදුරා විටින් විට ඉදිරිපස කණ්නාඩියෙන් මා දෙස බලමින් සිටියේය.
" සර් , හොඳින්ද ? " ඔහු යළිත් ඇසූ අතර මම නිහඬව සුසුමක් හෙලා මුහුණේ නැගී තිබූ දහදිය පිස ගත්තෙමි.

රියදුරා අත්මේස් කැබිනට්ටුව තුළින් ගත් කුඩා ප්ලාස්ටික් වතුර බෝතලයක් මගේ අතට දුන්නේය. ඔහුට ස්තූති කර එය අතට ගත්තත් එය පානය කිරීමේ අදහසක් මා තුළ නොවීය.

විවිධාකාර මත්ද්‍රව්‍ය යෙදූ වතුර බෝතල් ලබාදී මගීන්ව කොල්ලකෑ කුලී රථ රියදුරන් ගැන ඕනෑතරම් පුවත් ඇත. මම පසුම්බිය විවර කර කුලී රථ ගාස්තුව අතට ගන්නා අතරතුර කිසිවෙකුට හෝ මගෙන් පැහැරගැනීමට ඇත්තේ කුමක්දැයි කල්පනා කලෙමි.

වටිනා කිසිවක් නැත...

රියදුරාද මහළු තලත්තෑනී පුද්ගලයෙකි. ඔහුට මා කොල්ලකෑමට අවශ්‍ය නොවනු ඇත....

========

මගේ කුඩා මහල් නිවාසය කහ පැහැති මළාණික ආලෝකයෙන් පිරී ගියේය. මම බෑගය සහ කබාය දූවිලි බැඳුණු පියානෝව මතට වීසි කලෙමි . බිත්ති ඔරලෝසුව නිස්කලංකයේ ටික් ටික් ගාමින් සිටි අතර වේලාව අලුයම තුනට ආසන්න වෙමින් පැවතුනි.
මම අවුල් වූ ශීතල යහන මත වැටුණෙමි.
මොහොත්කින් උඩුබැලි අතට හැරුණු මම දුඹුරුවන් සිමෙන්ති වහලය දෙස බලා සිටියෙමි.

කොල්ලකෑමට ලක් වූ මා අඳුරු වීදියක වැටී සිටින ආකාරය මට මැවී පෙනුනි. එවිට මට අහස පෙනෙන ආකාරය ගැන මම කල්පනා කලෙමි. මම දෑත් අහසට දිගු කලෙමි. පියානෝව වාදනය කරමින් මම ගෙවූ සන්ධ්‍යා කාලයන් ගැන මට සිහිපත් විය.

මගේ ඇඟිළි ශීතලට අසු වූවාක් මෙන් වෙව්ලමින් තිබුනි. ඔහුගේ දිගු සහ ශක්තිමත් ඇඟිලි අතර ඒවා රැඳී තිබූ ආකාරය මට සිහිපත් විය.
ඒවා උණුසුම් විය. අවතාරයකට එතරම් උණුසුම් ඇඟිළි තිබිය හැකිද ?

================2 කොටසට =============
©® සියලු හිමිකම් ඇවරිනි.
උපුටාගැනීම තහනම්.


You are reading the story above: TeenFic.Net