(ii) විකුණන්න බඩුවක්..

Background color
Font
Font size
Line height

පොඩි එකාවත් පපුවට තුරුලු කරගෙන අඩියට දෙකට ගෙට ගොඩ වුණු පාලි හනිකට පැනල් රෙදි කෑල්ලක් අරගෙන පැටියව එතුවේ සීතල දැනේවි කියන බයට . ප්‍රයිවට් දොස්තරගාව වෙන්කර ගත්ත 4.30හේ චැනලින් එක ඉවර වෙලා ඉස්පිරිතාලෙන් එළියට බහිද්දිත්, යාන්තාමට වැටුණු පොදය ජයරාජ්හෙ සයිවර් කඩය ගාවදි තද කලේ , පාලිගේ රෑ කෑම වේලත් තේ කෝප්පයකට සීමා කරමින්. දරු පැටියා තෙමෙයි කියල තිබ්බ ගින්දර තමන්ගෙ බඩ ගින්දරට වඩා දළු ලද්දී ඒකි හනිකට ගෙට දිව්වේ පැටියාවත් තුරුළු කර ගෙනමයි.

පැටියාව සීතලෙන් අහකට කරල ඔතල තියල , පාලි හැරුණේ දරුවට කිරි ටිකක් හදල දෙන්න හිතාගෙන.

ඉස්පිරිතාලෙ ගාව පාමසියෙන් දොස්තර මහත්තයා ලියලා දීපු දිග බෙහෙත් තුණ්ඩුව වගේම දරුවාටම වෙන් කරපු පිටි ටින් එක උණත් දෙපාරක් නොහිතා ගන්න අද පාලිට පුළුවන් වුණා..

දරුවාට කිරි එක දීලා පාලි හැදුවේ ඇඟට වතුර දෙකක් දාගන්න.. දවල් වරුවෙම නානාප්‍රකාරයේ කාමාතුරයන්ගේ කාමාශාවන් පසිඳපු ඒකි ළඟින් ආවෙ හරිම අපුල හිණි ගඳක්. කොයි තරම් විලවුන් ගෑවත් ඒ ගඳ යවන්න බැරි වග පාලි දන්නවා වුණත් පැටියගෙ කිරි සුවඳට ඔය ඔක්කොම යටයි..

කිරි එක බීල අහවර වෙනවත් එක්කම පොඩි එකාට නින්ද ගිහින් තිබුණා ..කිරිසප්පයාගෙ සිනිඳු නලළ ඉඹ ගනිද්දී පාලිගෙ කටින් හීන් ඉකියක් පිට වුණේ හිතට උණත් දැං ඒ ගින්දර උහුලාගන්න බැහැ කියන්න වගේ ..

ඔව් දැං පාලිට හරි මහන්සි යි. ඒකිට දැං ඕනෙ මේ හිණි ගඳ ගහන අපායෙන් පිටමං වෙලා දරු පැටියා එක්ක කොහේ හරි ගිහින් ජීවත් වෙන්න .. ඒත් එහෙම කරන්නේ කොහොමද ..? මාසෙකට තිස් හතළිස් දාහක පඩියකින් ඇතිද පොඩි එකාව ජීවත් කරවන්න.. ඒකාට මාසෙකට බෙහෙත් වලටම යනවා පනස්දාහකට වැඩිය.. පිටින් බලන කාටත් සල්ලි හම්බ කරන්න ලේසිම ක්‍ර්‍ර්‍රමයක් වෙච්ච වේසකම ඒකි තෝරගන්න ඇත්තෙ ඒ නිසාමයි..

පයිප්පෙන් ආව වතුර බාල්දියකට පුරවන් ඇඟට හලාගනිද්දි දැනිච්ච සීතල පපුව ඇතුළෙ ගිනි නොනිව්වත්,ඇඟට ගෙනාවා පොඩි සහනයක්...ඇඟ හෝදන් අහවර වෙලා ආයෙම බැලුවේ කන්නාඩියෙන් පේන තමන්ගේ රූපය දිහා.ඔව් ඒ කැලැල් තාමත් එහෙම්මමයි.පොඩි එකාගේ බේබි ක්‍රීම් තලියක් අල්ලට ගත්තු ඒකී,ඉලුවා ඒක ඒකිගේ පපුව පුරාවටම... ඒ දැනිච්ච සුවඳ ලොකු හුස්මක් එක්ක තමන්ගෙම නහයට ගත්තු පාලි ආයෙමත් හැරිලා බැලුවේ පැටියා ඇහැරලාද කියලා..සීතලට ගුලිවෙලා නිදා උන්නු පැටිය දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා පාලි කුස්සිය පැත්තට ගියේ, මොනවා හරි දෙයක් බඩට දාගන්න හිතාගෙන.
කුස්සිය දිහාවට හැරුණත් හිස් වලන් පිඟන් ටිකක් ඇරෙන්න මුකුත් නොතිබුණේ,කියාගන්න බැරි අසරණ කමක් පාලිට දැනෙද්දි,

"පාලි..... පාලියෝ... ඒ උඹ ගෙදර කියල මං දන්නවා බන් මේ දොර ඇරපංකෝ..."

යාන්තමින් අඩු කරපු වැස්ස අස්සේ ඇවිත් හිටියේ කවුද කියන්න පාලි හොඳටම දැනගෙන හිටියා.

"මං උඹට කලිනුත් කියලා තියෙනවානෙ කොස්තා අයියේ මං නයිට් ඩියුටි නැහැ කියල .. මොකක්ද මේ කරදරේ උඹට මේ වෙලාවට මොකියක් හරි ඕනෙ නම් ගිහින් රත්ති අක්කට කතා කරපං .. ඒකි හොයල දේවි....

දොරින් යාන්තමට ඔලුව විතරක් එළියට දාලා පාලි කිව්වෙ ටිකක් සද්දෙට .

"අනේ මම නොදන්න උබේ නයිට් ඩියුටි... මේ මෙන්න මේක ගනිං මං දැක්කා උඹ පොඩි එකාවත් කරපින්නං ජයරාජ්ගේ සයිවර් කඩේ ගාවින් එනවා.....උඹ බඩගින්නේ කියලා දන්නේ නිසයි මම මේ තෝසේ දෙකක් අරගෙන ආවේ.."

"නැහැ ඕනේ නැහැ මං ගේ තිබ්බ කෑම වගයක් රත් කරලා කාලා ඉන්නේ.."

"අනේ අනේ මේ නිකං බොරු මරිසි නොදා මෙන්න මේක ගනිං .."

ඒ වෙද්දිත් දැනිච්ච බඩගින්නට බඩ පපුව දෙකම දනන්න ගත්ත නිසා පාලිත් දෙපාරක් නොහිතා තෝසේ පාර්සලය ගන්නේ හිතාගෙන ස්තෝප්පු පඩියට බැස්සා...

"උඹ මොකෝ තකහනියේ මට මේ තෝසේ අරගෙන ආවේ...?"

"තකහනියේ ආවේ නෑ බං මං මේ ආවේ.. මට වගේම උඹටත් වාසි වෙන වැඩක් සෙට් කරන්නත් එක්කමයි."

ඒ වෙලාවේ කොස්තගෙ මූනෙ ඇඳිල තිබ්බ කුපාඩි හිනාවෙන් පාලිට තේරුණා මොකක් නමුත් දහංගැටයකට කොස්තා අර අදින බව.

"මට වාසි වෙන වැඩක්... මොකෝ මේ පාර උඹ මාව සුද්දෙකුට විකුණල උඹේ ගාණ කපාගන්නවත් යනවද..?"

කලින් ඉඳලම කොස්තාගෙ කල්ක්‍රියාවේ තරම දන්න නිසා පාලිට එහෙම ඇහුණේ නිරායාසයෙන්මයි.

"ඔන්න ඔන්න ඕකනේ උඹලත් එක්ක බැරි..අපි උඹලට හොඳක් කරන්න හැදුවත් උඹල එන්නේ අපේ ඇඟට ගොඩ වෙන්නමයි."

"අනේ මේ බං අයියේ.. මම නොදන්නවැ'යි උඹේ හොඳ කෙරිල්ල ගැන. අනික කොයිවෙලෙත් උඹ හදන්නේ මගේ ඇඟට ගොඩ වෙන්න මිසක් උඹේ ඇඟට ගොඩ වෙන්න තරම් මට අහවල් අමාරුවක් නැහැ."

"ආ... හරි හරි ..අපෝ උඹේ කට බලං ගියාම අර රත්තියා උඹට පරාදයි නෙ බන්..."

"මේ උඹ ආව වැඩේ කියන්නෙ නැත්නම් මං යනවා .."

"හරි ..හරි හිටපං.. ඒ කෙල්ලේ මෙහෙ වරෙන්.."

කොස්තා කියද්දී.. කලු කුඩයක් යටින් මතු වුණේ හීන් දෑරි ශරීරය ක්.

"කවුද බන් අයියේ මේ කෙල්ල.."

"මේකි බඩුවක්... උඹට විකුණන්න ගෙනාවේ..."

කොස්තාගෙ කටින් පිටවුණ වචන එක්කම,ඒ කෙල්ලගෙ බොර පාට වෙච්ච ඇස් තෙත් වුණු හැටි පාලි හොඳාකාරවම දැක්කා ..

"මොනාද බන් උඹ මේ කියන තිරිසන් කතා ... මේ කෙල්ල තාම නොදරුවෙක් නෙ.."

"යකෝ මේකි මේ ඇට ගැහිල තියෙන්නේ ... හරි හමන් කෑමක් නැති නිසා..මේකිට දැනටමත් 17 ලබල තියෙන්නේ ..."

"දැං ඇයි මේ මහ රෑ උඹ මේ කෙල්ලව මට ගෙනත් දෙන්නේ..?"

"මෙහෙමයි ... උඹට කරන්න තියෙන්නේ මෙච්චරයි .. උඹ මේකිව ටික දවසක් තියාගෙන මේකිට සබ්ජෙක්ට් එක කියල දීපන්... හරියට මීට අවුරුදු එකහමාරකට දෙකකට කලින් රත්ති අක්කා උඹට සබ්ජෙක්ට් එක කියල දුන්නා වගේ ..
ඒ ගමන් උඹේ ගාන කපාගෙන මගේ ගතමන්ට් එක මට දීපන් .."

"ඇත්තමයි ... මේ හෙන ගගහ වහින වෙලාවෙ තොට වැහි නැති හෙන වදින්න ඕනෙ..."

කොස්තාගෙ හැසිරීම, පාලිට තමන් අද ඉන්න තත්ත්වයට වැටුණු හැටි චිත්‍රපට ජවනිකාවක් වගේ මතක් කරවද්දී... අද තමන් මීට කලින් කිසිම දාක නොදැක්ක අහිංසක ජීවිතයක් තමන්ගෙ ඇස් ඉස්සරහ ම විනාස වෙන්න යන හැටි දරා ගන්න බැරි වුණා .

"හරි දැං උඹ ඒකෙන්ද එන්න හදන්නේ ... හැබැයි පාලියෝ මං කවදාවත් හිතුවේ නැහැ උඹට මෙච්චර ඉක්මනින් මුල අමතක වෙයි කියල.. මං මේ මේකිව නානගෙ බඩු පොට් එකට නොදී උඹට දෙන්න හිතුවේ මේ රූට් එකේ දැන් ඩිමාන්ඩ් එක වැඩිම උඹට නිසා.. අනික නානගෙ බඩු පොට් එකට යනවා වගේ නෙවෙයි නේ මේකි උඹ එක්ක ඉඳල ජොබ් එක අල්ල ගත්තොත් නිදහසේ මේක කරගෙන ඉඳීවි ."

"නිදහස.... හහ් තියෙනවා පකක්...තොට පේන්නෙ නැද්ද බල්ලෝ මං මේ නිදහස විඳින තරම්.."

"හා..හරි හරි එහෙනම් අපි ගියා..."

තමන් ආව වැඩේ අසාර්ථක වුන නිසා කොස්තට වෙන විකල්පයක් හොයන් යන්න උනා..

"පොඩ්ඩක් හිටපන් අයියේ.... කොහෙන්ද උඹට මේ කෙල්ලව.."

"ආ... මේකිද .. මේකි මේ මගේ ගෑනිගෙ කලින් කසාදෙ ළමයෙක් නෙ."

"ධාරා අක්කගෙ.... මං දන්න තරමින් අක්කට ළමයි හිටියේ නැහැනේ..."

"ධාරා.... මතක් කරන්න එපා ඔය පට්ට බැල්ලිව. ඒකිට මං දෙන සැප මදි වෙලා ඒකි ඇටන්ඩන්ට් කෙනෙක් එක්ක පැනල ගියා බන්.."

"මේකි මේ මගෙ දැං ගෑනි, ඇළ පාරෙ චූටම්මාගෙ ලොකු කෙල්ල ගෙදර තව පෝලිමට කොල්ලොම තුනක්.."

"තොට කියන්න ඕන දේවල් මගේ දිව අග තියෙනවා කොස්තෝ..ඒත් මේ නොදරුවා ඉදිරියේ මං ඒවා කියනනේ නැහැ ."

"කෙල්ලව නානට දෙන්න ඕනෙ නැහැ . මට දීල පලයං ..."

"හරි උඹ ඕකේ නම් මං ඩබල් ඕකේ..මේ මට දැනට ගන්න පොඩි අතමාරුවක් නැති වෙයිද..?"

"මොන අත මාරුද ... පලයං. පලයං . තවත් පව් නොදී...."

අනේ බන් පාලියෝ එහෙම කියන්න එපා.. දවස් දෙකකින් ඇඟට මුකුත් වැටුණේ නැහැ .. 2000 කෑල්ලක්වත් දා නොගත්තොත් හෙට හයර් කට්ටක්වත් දුවල හමාරයි .... හරි අපි මෙහෙම කරමු . මං මේකිව අද රෑට පැය දෙකකට නානට දෙන්නම් ... හෙට උදේට කෙල්ල ආයෙ උඹ ළඟ . හරි නෙ."

"නැහැ ...නැහැ.. ඕනෙ නැහැ. උඹට ඕනෙ රුපියල් 2000 නෙ හිටපං ."

"ඉඳා.... මේක ගනිං ... "

පාලි,දරුවට බෙහෙත් අරං ඉතුරු වුන ගානින් කොස්තට රුපියල් 2000ක් දික් කලේ කොහොමටවත් ඒ අහිංසක ඇස් දෙක දිහා බලාගෙන ඒකිව වෙන පාහරයෙක්ට විකුණන්න හිත හදාගන්න බැරි වුණු නිසා ..

"දැං මේකි මගේ..."

"මේ උඹට ඇහුණා නේ උඹ මේ දැං ඉඳං පාලි අක්කගෙ බඩුවක්... එච්චරයි .... එහෙනම් පාලියො අපි ගිහින් එන්නම්.."

"ආයෙ එන්න එපා යන තැනක ඔහොම්මම මකබෑවියන් සල්ලි වලට අහිංසක කෙල්ලො බිලිදෙන පොන්නයා...."

හිතේ කේන්තියටත් එක්ක පාලි එහෙම කිව්වත් කොස්තා මුකුත් නොකියම ගියේ පාලිව තරහ කරගන්නවා කියන්නේ,හරියට රත්තරං බිත්තර දාන කිකිළිගෙ බඩ පැලුවා වගේ වෙන නිසයි ..

"එළියේ ඉන්න එපා ඇතුළට වරෙං ..."

බලාපොරොත්තු විරහිත ඇස් වලින් ඒ කෙල්ල පාලි දිහා බලං ඉද්දි ඒ කෙල්ල ව ගෙට ගත්ත පාලි පළවෙනි පාරට කෙල්ල එක්ක කතා කරා.

"මොකක්ද උඹේ නම?"

"ය.. ය.. යශෝධරා ....."

මතු සම්බන්ධ යි...

Chami 🖤


You are reading the story above: TeenFic.Net