"පාසල් හංදිය බහින්න. ඉස්සරහට එන්න ඉක්මනට. ඉක්මන් කරන්න."
කොන්දොස්තරගේ කෑගැහිල්ලෙන් මම පියවි සිහියට පැමිණියෙමි. අහල පහල අසුන්වල හිඳගෙන සිටි සිසුන් නැගිටිමින් ඉදිරියට යන්නට තැත් කරනු මට පෙනෙයි. බස් නැවතුමට මෙතරම් දුරක් ඉතිරිව තිබියදීත් ඔහු මෙලෙස කෑ ගසන්නේ මන්දැයි මම නොදනිමි. අවම ගාස්තුව ගණයට වැටෙන නගරයේ සිට පාසල දක්වා වන දුර බසෙන් පැමිණීම සම්බන්ධයෙන් ඇතැම් බස් රථවල කොන්දොස්තරවරු අමනාපයෙන් පසුවන බව මම දනිමි. දැරණියගල අවිස්සාවේල්ල බස්වල ඇතැම් කොන්දොස්තරවරුද ඒ ගණයට වැටේ. බොහෝ ළමුන් සතුව සීසන් පැවතීමද එයට එක් හේතුවකි. එය කෙසේ වුවත් එම කෙටිදුර වුවද පයින් එනවා වෙනුවට බසයෙන් ගමන් කිරීමට මම ප්‍රිය කරමි.
කොන්දොස්තර මා දෙස නොරිස්සමෙන් බැලුවත් මම එය ගණන් නොගෙන ජනේලයෙන් ඉවත බලා ගතිමි. පාලම හරහා ගමන් කරමින් සිටින අපට පාලමෙන් පහළ සීතාවක ගඟ පෙනේ. මා ඒ දෙස නිසලමනේ බලා සිටියෙමි. එහෙන් මෙහෙන් වැටෙන අවුරැලි ගඟේ ජල තලය සිත්තම් කරනු පෙනෙයි. නිසසලව ගලා යන ජලකඳ අපූරුය. වටෙන් ඇති උණ ගස් පාලම දක්වාම උසින් වැඩී ඇත. පාලම ඉතා පටුය. බස් රථයෙ රෝදය බැම්මේ ගෑවෙතැයි මට විටෙක සිතේ. වාහන දෙකකට මාරු වීමට පවා නොහැකි අතර විසාල වාහන ගමන් කරන විට පාලම සෙලවෙන්නාක් මෙන් පදිකයින්ට දැනේ. ඒ අවට සුන්දරය. නිස්කලංක ය. මම පාලම හරහා හා බස් රථයෙන් ගමන් කිරීමට ප්‍රිය කරමි.
පාලම පසුවනවාත් සමගම මම අසුනෙන් නැගිට්ටේ ඊළඟ නැවතුම පාසල් හන්දිය වන බැවිනි. ඉන්පසු මම ටිකෙන් ටික බස් රථයේ ඉදිරි දොරටුව කරා ගමන් කරේ ඉක්මනින් බැසගැනීමේ අපේක්ෂාවෙනි. පාසල් හන්දියට පැමිණියාත් සමඟම බස් රථයේ පිරී සිට ළමයි ඉක්මනින් ඉක්මනින්ම බැස ගන්නට පටන් ගත්හ. මමත් ඒ අස්සේ තෙර පෙමින් කෙසේ හෝ බසයෙන් බැස ගත්තෙමි. කොන්දොස්තර මා දෙස අමුතු ලෙස බලා සිටියේය. ඔහුට මා සමග පෞද්ගලික තරහක් ඇත්දැයි මට සිතේ. මා බසයෙන් බසින අතරේ ඔහුට රැව්වෙමි.
බස් නැවතුමේ සිට පාසල දක්වා තවදුරටත් ඇතුල් පාරක් ඔස්සේ ගමන් කළ යුතුය. බසයෙන් බසින විගස පාසලේ ගේට්ටුව හමුවන ආකාරයේ පාසලකට මං ආසා කරමි. සෑම උදෑසනක ම මෙලෙස පයින් යාමට සිදුවීම මගේ අප්‍රසාදයට හේතුවේ. අනික් කරුණ නම් ආසන්නයේ පාසල් දෙකක් තිබීම නිසා මෙහි ඇති තදබදයයි. මහා විද්‍යාලය හා ජාතික පාසල යන දෙකම ආසන්නයේ පිහිටුවන්නට හේතුව මං නොදනිමි. මහා විද්‍යාලය මිශ්‍ර පාසලක් වුවත් අපේ පාසල බාලක විද්‍යාලයකි.
ශ්‍රී සුමන විද්‍යාලය පුවරුව අසළින් මං ඇතුල් පාරට හැරුනෙමි. ළමයින් දහස් ගණනක් මා ඉදිරියෙන් සුදු පාටින් බැබළෙමින් ගමන් කරයි. වෙලාවට හත පසුවී විනාඩි පහක් පමණ වේ. පාර දෙපස ඇති ගස් නිසා වටපිටාව අඳුරුය. ඉස්කෝලයට යන මාර්ගයේ අතරමග කෝවිලක්ද වේ. ඇතැම් ළමුන් උදෑසනම කෝවිලටද ගොඩවී ආශිර්වාද ගනිති. මට කෝවිලේ අභ්‍යන්තරය දැකගැනීමේ කුතුහලයක් පැවතියත් එයට අවස්ථාවක් ලැබී නැත. මා උදෑසන කෝවිල් ගානේ බඩගෑ බව තාත්තා දැනගතහොත් තවත් ප්‍රශ්නයකි.
මගේ තාත්තා මහා විද්‍යාලයේ සිංහල ගුරුවරයෙකි. ඔහු ඕලෙවල් ළමයිට උදෑසන පන්ති කිරීමට නිවසෙන් කලින් පිටත්වේ. අප එකට පැමිණෙන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත් තනියෙන් ඒමට මා වැඩිපුර කැමැත්තක් දක්වන්නේ තාත්තා සමග පැමිණෙන විට මගේ නිදහස සීමාවන බැවිනි. අනික් අතට ඔහු දැරණියගල ටවුමේ සිට පාසල දක්වා පයින් යෑමට ප්‍රිය කරයි. තරුණ ළමයින් ඇඟ හොර නොකර ගත යුතුබව ඔහු උදේ හවා කියයි. එසේ නම් ඔහුට මෙතරම් ලොකු බඩක් ආවේ කෙසේදැයි ඇසීමට මට එවිට සිත්වේ.. ඔහු තරුණ කාලයේ කර ඇති ව්‍යායාමයක් නැත.
මා ගේට්ටුව අසළට පැමිණෙද්දී ශිෂ්‍ය නායකයන් නිල ඇඳුම් පරීක්ෂා කරනු පෙනුනි. වාසනාවට මමත් ශිෂ්‍ය නායකයෙකු බැවින් නිල ඇඳුම පෙන්න පෙන්න සිටීමට අවශ්‍ය නැත. මා පෝළිමෙන් ඉවත්වී ගේට්ටුවේ කොණෙන් ඇතුලට පැනගත්තෙමි. විනය බාර සර් එතනම හිඳිමින් කොල්ලන්ගේ කලිසම් උඩට නවන හැටි මට පෙනේ. කලිසම උඩට එසවිය නොහැකි නම් එය ඕනවට වඩා හිර අතර, එවැනි කලිසම් ලොකු කළ යුතුය. ඉඳගත්විට මේස් පෙනේනම් කලිසම ඕනවට වඩා කොටය, ඒවා දිග් කළ යුතුය. කමිස යටකිරීම, කොණ්ඩා රැවුල් කැපීම අනිවාර්යය. එසේත් නැතිනම් ඇතැම් අවස්ථාවල බාබර් කෙනෙක් පාසලට ගෙන්වීමට ද විනය බාර සර් පසුබට නොවේ. විනය බාර් සර්ගේ නම ගුණසිංහ ය. ඔහුගේ හිසේ කෙස් නැත. එම නිසා ඔහු කොල්ලන් අතර ප්‍රසිද්ධ වූයේ තට්ට ගුණේ නමිනි. ඔහුට තරුණ කාලයෙත් තට්ටයෙක් වූ බවටත් ඒ නිසා කොණ්ඩෙ ඇති කොල්ලන් හා තරහ බවටත් කටකතාවක් පවතී. දැන් දැන් නම් මටත් එහි ඇත්තක් ඇතැයි සිතේ.
ගේට්ටුවෙන් කෙලින්ම ඇතුලට ගිය විට මුලින්ම හම්බෙන්නේ බුදු මැදුරයි. අපි හැමෝම තත්පර කිහිපයක් නැවතී එයට වැඳුම් කිරීම සාමාන්‍ය පුරුද්දකි. ඔය අතර ම ඔතන පංච ශීලය සමාදන් වෙන තරම් වෙලාවක් වැඳගෙන සිටින ඈයෝද වෙති. මා එතනින් ඉහළ පාරේ අපේ දොළහ ආර්ට් පන්ති දෙස ගමන් කළෙමි. කොල්ලන් කිහිප දෙනෙකු මිදුල අතුගාමින් සිටිති.
"වික්‍රමසිංහ වික්‍රමසිංහ!" මා පන්තියට අඩිය තැබීමටත් පෙරම මට කොහෙන් හෝ කටහඬක් ඇසුණි.
ආපසු හැරී බැලූ මට දැකගැනීමට හැකි වූයේ මා දෙසට පැමිණෙමින් සිටින සිරිවර්ධන සර්ගේ රූපයයි. සිරිවර්ධන සර් ඒලෙවල් පන්තිවලට සිංහල උගන්නයි. මා සාහිත්‍ය සංගමයේ සභාපති බැවින් ඔහුගෙන් මට තිබෙන්නේ එසේ මෙසේ වදයක් නොවේ. මේ සාහිත්‍ය සංගමයේ සභාපති පට්ටම මගේ තාත්තා නිසා මට ලැබුණු එකකි. පියා සිංහල ගුරුවරයෙක් වූ පමණින් දරුවන්ට සිංහල පුළුවන් වෙතැයි යන තර්කය කොහෙන් කෙලෙස පැමිණි එකක් දැයි මම නොදනිමි. මට සිංහල වලට ලකුණු ඇති බව සැබෑය. නමුත් එය මගේ අප්‍රියම විෂයයන්ගෙන් එකකි.
"good morning sir."
"ආ සුභ උදෑසනක්. අද හවසට අපි සාහිත්‍ය සංගමය ගන්න ඉන්නෙ."
"අද? අද බදාදා නෙමෙයිනෙ සර්?"
" බදාදට පෝයක් එනවා. ඒකයි අද ගන්නේ."
"ආ හා සර්."
ආ හා ගෑවට මට සර් සමගින් කේන්තිය. හැමදාම සාහිත්‍ය සංගමය රැස්වීමේ කතාව පුරුදුවීමට මා දරන වෙහෙස දන්නේ මා පමණි. මෙලෙස ගහෙන් ගෙඩි එන්නා සේ රැස්වීම් පවත්වන්නට පටන් ගතහොත් මා පත් වන්නේ එසේ මෙසේ අපහසුතාවයකට නොවේ. මම වැඩි කතාබහට ප්‍රිය පුද්ගලයෙක් නොවෙමි. කතා පැවැත්වීමටද දක්ෂයෙක් නොවෙමි. නමුත් මට මා එයට දක්ෂ බවට මවා පෑමට සිදුවී ඇත.
මං සර්ට එරවීමට නොහැකි නිසා අසළ අතුගාමින් හිටි කොල්ලෙකුට රවාගෙන පන්තියට පැමිණියේ ඌද ආපිට මට රවද්දීය. අද හවස සාහිත්‍ය සමිතිය තිබේ නම් මට ගෙදර යෑමටද පරක්කු වෙනු ඇත. මා ගෙදර යාමට පරක්කු වුවහොත්, අම්මා දුම්මල වරම අතට ගනු ඇත.
"ඕයි විනීතෝ ගුඩ් මෝනින්.."
මගෙ කන් අඩිය පැලෙන තරම් හයියෙන් කෑගැසූ යමෙක් කරේ එල්ලෙද්දී ඒ අසෝබන කටහඬින් ම මම පුදගලයා හඳුනාගත්තෙමි. මට දැරිය නොහැකි ම දේ මුන් මගේ නමට කරන අපහාස ය. මා විනීත් විනා විනීත නොවෙමි. එය ගැහැනු නමක් වැනිය.
"ගුඩ් මෝනින්." මං නවීෂ්ගේ අත් මගේ කරෙන් ඉවත් කරමින් පැවසුවෙමි.
නවීෂ් මාගෙ ළඟම මිතුරන්ගෙන් එකෙකි. හය වසරේ සිට අපි මිත්‍රයන් වීමු. නමුත් ඔහු තනිකර ම මගේ චරිතයේ අනිත් පැත්තයි. ඔහුගේ නොනවතින කියවිල්ලට දඬුවමක් වශයෙන් පන්තිභාර ගුරුතුමී ඔහුව මගේ ළඟින් නොඉන්දවන්නට අප කිසිදාක මිතුරන් නොවනු ඇත. මෙවැනි කන්කරච්චලයක් මිතුරෙකු කරගැනීමට තරම් කැසිල්ලක් මට නොතිබුනි. මෙයට වගකිවයුත්තේ ගුරුතුමියයි. කෙසේවෙතත් දැන් ඔහු මගේ ජීවිතයේ නැතුවම බැරි එකෙකි.
"හොඳ කොල්ලා වගේ ඉතිහාසය පොත දියම්."
මම නිශ්ශබ්දව ම ඔහුට මගේ ඉතිහාසය පොත දික්කර සැරසුනේ මට අදාළ අතුගෑමේ ස්ථානය අධීක්ෂණය ට යෑමටයි. නැත්නම් පන්තිභාර සර් පැමිණ මගේ ඔලුව කනු ඇත.
"කොහෙද සුද්දා යන්නෙ?"
"අරුන් අතුගානවද බලලා එන්නම්."
"ඕකේ බොසා. ගීවින්දත් ගියා ඒ පැත්තට."
ගීවින්ද යනු මගේ අනෙක් මිතුරායි. ඔහු මට සමීප වූයේ සාමාන්‍ය පෙළ කාලයේ එකම විද්‍යා පන්තියට යෑමෙනි. උසස් පෙළ පන්තිය ට පැමිණි පසු අපි දෙදෙනාම කලා B පන්තියට වැටුනු බැවින් ඉබේම මිතුරන් විය. ඔහුත් මා මෙන්ම ශිෂ්‍ය නායකයෙකි. ඔහු නවීෂ් මෙන්ම නාහෙට අහන්නැති අයෙක් වුවත් නවීෂ්ට සාපේක්ෂව පරිණත චරිතයෙකි. ඒනිසා නවීෂ්ට වඩා ගීවින්ද මට යම්තාක් දුරකට සමීපය. නමුත් නවීෂ් නිසා ගීවින්දගේ මොළයත් ටිකෙන් ටික අඩුවන බව මට හැඟී ගොස් තිබේ. ගීවින්ද පමණක් නොව විටෙක මට මං ගැනද එසේ සිතෙයි.
මම පන්තියෙන් පිටවී ලොකු මිදුල හරහා ඇවිදගෙන පැමිණියෙමි. කොල්ලන් වැලි මිදුල පොල් අතු රටාවට අතුගා ඇත. ඇතැම්මු තවමත් අතුගාමින් සිටිති. තවමත් හතහමාරටවත් නැති නිසා ළමයි කෑකෝ ගසමින් එහෙ මෙහෙ දුවති. පාසල් මාධ්‍ය ඒකකය උදෑසන ම වැඩ පටන්ගෙන ඇත. මම ද සාමාන්‍ය පෙළ කාලයේ මාධ්‍ය ඒකකයේ වැඩ කළෙමි. නමුත් පසුකාලයේ මා එය අත්හැර දැමුවේ තියන වැඩ කන්දරාව මට හොඳට ම ඇති නිසා ය. එසේ නොවන්නට, තෙලෙන් හෝ කිරෙන් මාධ්‍ය ඒකකයේ සභාපති කමද මගේ ඇඟේ ගැසෙනු ඇත.
පිණිබර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිපගිණි මැලවෙනවා
කොළඹ රේල්ලුව රජ ගමනට එනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා..
ශබ්ද විකාශන යන්ත්‍රයෙන් පිටවන ගියක පද මුමුණමින් මම කොන්ක්‍රීට් පාර දිගේ සාමාන්‍ය පෙළ පන්‍ති පසුකළෙමි. කොල්ලන් යටි ගිරියෙන් හඬතලමින් එහෙ මෙහෙ දුවති. විනය කැලේය. ගුණසිංහ සර්ට පේන්නේ කලිසම පමණි. කලිසම හරියට ඇඳගෙන මිනී මැරුවත් ඔහුට වගක් නැත. සාමාන්‍ය පෙළ පන්ති බැලීමට ශිෂ්‍ය නායකයින් යොදවා හිටියත්, ඔවුන් අතුපතු ගෑම් මිසක වෙනත් දේවල්වලට ඇඟිලි නොගසති. අනෙක් අතට සාමාන්‍ය පෙළ කොල්ලන් ආණ්ඩුමට්ටු කිරීමද ලේසි නැත. උන් ශිෂ්‍ය නායකයන්ව ගණන් නොගනී. ප්‍රධාන ශිෂ්‍ය නායක, උප ප්‍රධාන ශිෂ්‍ය නායක හෝ ටිකක් දරුණු ගණයේ ශිෂ්‍ය නායකයෙකුට හැර අනෙකෙකුට උන් පාලනය නොවේ. ශී සුමනේ ඇත්තේ යකාගේ විනයකි.
මට පන්තියක් භාරව නැත. මා භාරව සිටියේ සාමාන්‍ය පෙළ අංශය පිටුපස පිරිසිදු කිරීම් නිරීක්ෂණය කිරීමටයි. ඒ නිසා මම දුරු කතර ගෙවාගෙන කලා අංශයේ සිට සාමාන්‍ය පෙළ පංති වෙත පැමිණිය යුතුය. මා එහි යනවිටත් පිරිසිදු කිරීම් ආරම්භ වී තිබීම මගේ සැනසීමට හේතුවිණි. එහාපැත්තේ සිටි ගීවින්ද මට අතවනාගෙන මා දෙසට පැමිණියේය.
"විනීත් දැන්ද ආවෙ?"
"ඔව්, ආපු ගමන් මේ ආවෙ."
"කේස් එකක් නෑ. අද ඉන්න උන් ටික හොඳයි. කලින්ම වැඩ ටික කරා."
"ඒක තමා මාත් බැලුවෙ."
"මල්ලෙ, කුණු ටික පුච්චපං ඈ. තැන් තැන්වල දාලා අහුවෙන්නෙපා!"
ගීවින්ද බොරුවට අරුන්ට රවා මගේ කර වටේ අතත් දමන් ඇදගෙන ආවේය. මාත් නිශ්ශබ්ද ව ඔහු සමඟ පැමිණියෙමි.
"අද බෑග් චෙක් කරනවලු."
"අද?"
"යා යා.."
"කවුද කිව්වෙ?"
"උබට වැඩක් නෑනෙ. මේවා රජයේ රහස්."
ශ්‍රී සුමනේ විනය කෙතරම්ද යත් විටෙන් විට මෙවැනි ගරිල්ලා බෑග් පරීක්ෂා මෙහෙයුම් දියත් වේ. එවිට සිදුවන්නේ මුළු පාසලේම ශිෂ්‍යයින් ප්‍රධාන රැස්වීමට කැඳවා ශිෂ්‍ය නායකයින් එක් වරම සියල්ලන්ගේ බෑග් පරීක්ෂා කිරීමයි. මෙය සිසුන්ට නම් නරක හීනයක් වැනිය. කොහෙන් හෝ මෙවැනි මෙහෙයුම් පිළිබඳව කන වැකුණහොත් උන් තමන් සතු ඇතැම් දේවල් ගිල දමා හෝ සඟවා ගනියි. මෙහිදී පාසලට රැගෙන එන නීති විරෝධී දේ ලෙස නොසලකන දෙයක් නැති තරම් ය. පොත්, කෑම පෙට්ටිය, කුඩය, වතුර බෝතලය හැර අන් සියල්ලම වාගේ නීති විරෝධී ය. ඇතැම් සිසුන් තම මිත්‍ර ශිෂ්‍ය නායකයින් ට තමන්ගේ බඩු බාහිරාදිය පරිස්සම් කිරීමට භාරදේ. නිදසුනක් ලෙස දිනක් නවීෂ්ගේ ස්මාට් දුරකථනය රකින්නට මට සිදුවිය. පසුව මා ඔහුට දුන් දේශනය නිසා ම තවදුරටත් ඔහු එය පාසල් ගෙන නොයෙයි, ඒ වෙනුවට අසළ කඩයක තබා එයි. මෙලෙස පාසල් ළමුන්ගේ දුරකථන වලට රැකවරණය දීම හරහා අසළ කඩයද මුදලක් උපයා ගනී.
මා ගීවින්දත් සමග පන්තියට යද්දී පිරිසිදු කිරීම් අවසන් කර උදෑසන රැස්වීම සඳහා සීනුව නාදවිය. ඒ නිසා අප දෙදෙනා නවීෂ්වත් කැටුව ප්‍රධාන ක්‍රීඩාංගණය දෙසට ඇවිදන් ගියෙමු. ඇතැමුන් තවමත් කොසු ඉදල් බදාගෙන, එහෙ මෙහෙ දුවති. ඔවුන් නිසි වේලාවට රැස්වීමට නොපැමිණි විට ගුරුවරුන් ශිෂ්‍ය නායකයින්ගේ ඇඟට කඩාපනී. ඒනිසා ම මමත් ගීවින්දත් තාමත් ඉස්කෝලයේ තැන් තැන්වල තැග්ගැහෙන ළමුන්වත් කුදලාගෙන ක්‍රීඩාංගණය බලා පා ඉක්මන් කළෙමු.
"ඕයි මල්ලේ, ඕක පස්සෙ අතුගාපන්. බෙල් එක ගහනවා ඇහුන්නැද්ද?!"
"තව පොඩ්ඩ-"
"ඥං පචං ගාන්නැතුව රැස්වීම ට යමං අපේ යකා අවුස්සන්නැතුව ."
පන්තියක දොරකඩ කොස්සකුත් උස්සන් කුණු ටික ගොඩ කරගෙන සිටි අටේ, නවයේ වැනි ළමේකුට ගීවින්ද කෑගැසුවේය.
"ඔව්, මේ අයියා වසයි ඈහ්. පණ්ඩිත නොවී කියපු දේ කරහං."
නවීෂ් බොරු තරහකින් කීවිට කොල්ලා කොස්ස බිත්තියට හේත්තු කර අපිට ඉස්සරහින් දුවන්නට පටන් ගත්තේය. එලෙස අප දුටු ළමයි කිහිපදෙනක් ම ක්‍රීඩාංගණය ට දුවනු අප දුටුවෙමු. මේ පාසලට සීනු නාදය ශබ්ද විකාශන යන්ත්‍රයෙන් විකාශය කිරීමෙන් පලක් නැත. ශිෂ්‍ය නායක මණ්ඩලේ ම අදාළ වෙලාවේ පාසල වටේ රවුමක් යමින්, ළමයින් පන්තිවලින් කුදලාගෙන හරක් මෙන් පිට්ටනිය ට ඇදන් ඒම ගැලපෙන ක්‍රමයයි. ශ්‍රී සුමනේ විනය නැවතත් මාව උද්දාමයට පත්කරයි.
ක්‍රීඩාංගණය වනාහි අති විශාල එකකි. පාසලේ ඇතුල් දොරටුවට ම දර්ශනය වන පරිදි එය ඉදිරිපස ම පිහිටා ඇත. ශ්‍රී සුමනේ ක්‍රීඩාංගණය නරඹන්නන්ටම උචිත වන්නකි. එහි පිහිටීම අපූරුය. ක්‍රීඩාංගණය වටේටම උස් භූමිය පිහිටා ඇති අතර කිසියම් තරගයක් නැරඹීමේදී කිසිදු අපහසුවකින් තොරව සියලු දෙනාටම නැරඹීමට හැකිය. වටේටම පිහිටා ඇති නුග ගස්, අඹ ගස් මෙන්ම කොට්ටම්බා ගස් එක්කළේ අමුතුම සුන්දරත්වයකි. ක්‍රීඩාංගණයේ මැද කොටස හැරෙන්නට අනික් සෑම තැනම තුරු සෙවණින් වැසී ගොස් තිබිණි.
පන්සිල් සමාදම් වී ජාතික ගීය ගායනයෙන් පසු විදුහල්පතිතුමා රැස්වීම අමතන්නට වේදිකාවට නගින ලදී.
"සුබ උදෑසනක්. ගරු ස්වාමීන් වහන්සේගෙන්ද, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගෙන්ද, සහෝදර ආචාර්ය මණ්ඩලයෙන්ද අවසරයි. දයාබර ශිෂ්‍ය ශිෂ්‍යයාවනි, අද මේ උදෑසන රැස්වීම විශේෂයෙන්ම පවත්වන්න හේතුව තමයි පාසලේ විනය නැවතත් පිරිහෙමින් තිබෙන බවට අපට පෙනී යාම. ඊයේ දිනයේදී උසස්පෙළ වැසිකිළි සංකීර්ණයෙන් දුම්වැටියක් හම්බෙලා තිබ්බා. පාසල් තුලින් කිසිසේත් ම හමුවෙන්න පුලුවන් දෙයක් නෙවෙයි ඒක. ඒ වගේම සාමාන්‍ය පෙළ සිසුන් ශිෂ්‍ය නායකයින් ට අවනත නොවීම ගැන පැමිණිලි තියනවා. මං අවධාරණය කරන්න කැමතියි මින් මනතට ඒවගේ දේවල් උනොත් මම, ගුණසිංහ සර් ඇතුලුව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවා. පාසලෙන් අස්කරලා දාන්න උනත් අපි පසුබට වෙන්නෙ නෑ. දෙමව්පියන්ට කිව්වට කමක් නෑ මං කාටවත් බයත් නෑ, ණයත් නෑ.."
"විනීත්,"
"ඕ?"
"අන්න අපිට එන්නලු."
ගීවින්දගේ ආමන්ත්‍රණයත් සමග මම පසුපස හැරුණෙමි. ශිෂ්‍ය නායකයෝ සියල්ල බෑග් පරීක්ෂා කිරීමට ගමන් කරමින් සිටිති. අපද ඒ අතරට පැන පංති කාමර කරා පියනැගුවෙමු. අපට භාරවූයේ දොළහ වසර වාණිජ පංතිකාමරයකි. ගීවින්ද කොණකට යද්දී මම අනෙක් කොටසට යමින් පරීක්ෂාව ආරම්භ කළෙමු.
විනාඩි දහයකට පසුවත් මට නම් හමුවුනේ බුලත් විට දෙකක් හා බෑගයක් අස්සේ ඔබා තිබූ රිදී පැහැ මාල කිහිපයක් පමණි. ගීවින්දත් ඒ හැටි හමුවී තිබුණු බවක් නොපෙනේ. ඒනිසාම අප පංතියෙන් එළියට යන්නට ලෑස්ති වෙද්දීම කොණක තිබූ තවත් බෑගයක් මගේ නෙත ගැටුණි. බැලූ බැල්මට එය හිස් විය. ඒත් කුමන හෝ හේතුවකට මා නැවත එයට අත දැමුවෙමි.
"යමු නේද විනීත්."
"පොඩ්ඩක් හිටපං."
"ඇයි?"
මා නැවත නැවත එහි පැති සාක්කුවලට අත දමා අඩිය හාරැවිස්සුවෙමි. එහි අඩියේ කොණක පෙට්ටියක් මා අතට හසුවෙද්දී මා එය ඉවතට ඇද්දේ, අදාළ පෙට්ටිය මගේ අතත් සමගම එළියට එද්දීය. ගීවින්ද මා දෙස මුව අයාගෙන බලාසිටී. මම ඇස් ලොකු කරන් ඒ දෙස බලාසිටියෙමි.
"සිගරට්?!"
ගීවින්දගේ කටහඬ මට ඇසුනේ සිහිනෙන් මෙනි. මගේ අත් වෙව්ලයි. මං මගේ ජීවිතේ ට සිගරට් පැකට් එකක් අතට ගෙන නැත. මං බයෙන් මෙන් එය මේසය මතින් තබද්දී ගීවින්ද එය අතට ගත්තේය.
"උබ කොහෙන්ද බං මේක හොයාගත්තෙ?"
මගේ මුව හොලුවී ඇත. මා අතින් පසෙක වූ බෑගය ගීවින්ද ට පෙන්නුවෙමි. ගීවින්ද එය අතට ගෙන පරීක්ෂා කරද්දී අල්ලපු පංතිය පරීක්ෂා කළ ශිෂ්‍ය නායකයෝද අප අසළ ට පැමිණියහ.
"ටසිරි! ගීවින්දයා ඔය කොහෙන්ද?"
"මේ බෑග් එකේලු තිබ්බෙ."
සමිත තවත් ශිෂ්‍ය නායකයෙකි. මම ඔහුට පෞද්ගලික ව කැමැත්තක් නොදැක්වුවත් මේ අවස්ථාවේ තව කවුරු හෝ පැමිණීම මාගෙ සහනයට හේතු විය. සමිත එය අතට ගෙන පමණක් නොනැවතී ඇතුළට ද අත දැමීය. ඇතැම් කොල්ලන්ට ඕනෑ නැති දෙයක් නැත. සෑම රෙද්දකටම අත දමා බැලීමේ අජූත පුරුද්දක් ඇත.
"ඒ, සිගරට් එහෙම්ම ම තියනවා." සමිත කීවෙ අප දෙස බලමිනි.
"යමුකො."
ගීවින්ද මාවද පෙරටු කොටගෙන පන්තියෙන් එළියට යාමට සැරසුනේය. මා තාමත් සිටින්නේ වික්ෂිප්තව ය. සිගරට් පාසලට ගේන්නේ කුමන අන්දමේ කොල්ලෙක්දැයි මං නොදනිමි. අපේ තාත්තා මෙය දනී නම් මාද බැනුම් අසනු ඇත. මට කිසිදු සම්බන්ධයක් නැතත්, සම වයසේ අනික් කොල්ලන් කරන දේටත් මට බැනීමේ පුරුද්දක් අපේ තාත්තාට ඇත.
🌿🌿🌿
අප රැස්කළ සියලු භාණ්ඩ විදුහල්පතිගේ කාර්යාලය ඉස්සරහට ගොඩ ගසනු ලදුවෙමු. එහි මාල, සීඩී තැටි, දුරකථන, කාඩ් කුට්ටම්.. එකී මෙකී නොකී නානාප්‍රකාර දේ ගොඩවී තිබිණි. නමුත් මා සොයාගත් දේ තරම් භයානක දෙයක් නැත. මම අන්දුන් කුන්දුන් වී ඉදිරිය බලාගෙන සිටියෙමි. විදුහල්පතිතුමා සිගරට් පෙට්ටිය අතේ තබාගෙන මා දෙස බැල්මක් හෙලීය. හරියට මා එහි අයිතිකාරයා වගේ ය. ඔහුට රැවීමට නොහැකි නිසා මම සිගරට් පෙට්ටිය ට රවාගෙන සිටියෙමි.
"මේක කොහෙද තිබ්බා කිව්වෙ වික්‍රමසිංහ?"
"12 කොමස් B එකේ සර්."
"ම්ම්ම්..."
"බෑග් එකේ අයිතිකාරයා කවුද?"
"තරිඳු ඌව එක්කන් එන්න ගියා." ගීවින්ද මා වෙනුවට පිළිතුරු බැන්දේ ය.
එසැනෙහිම බෑගයෙ අයිතිකාරයා එක්කන් එන්නට ගිය ශිෂ්‍ය නායකයා පසෙකින් මතුවිය. අපි හැමෝගේම කුහුල වූයෙ බෑගයේ අයිතිකාරයා දැක ගැනීමයි. ශිෂ්‍ය නායකයින් පමණක් නොව ඒ අසළ සිටි ගුරුවරුත් එබි එබී තරිඳුගේ පිටිපසින් පැමිණි හාදයා දෙස බැලීය.
"පැහැසර! මං හිතුවා, මං හිතුවා. මං එදත් කිව්වා නේද සර් මූ නවතින්නෙ මිනියක් මරලා කියලා. මුන්ව දඬුකදේ ගහන්න ඕනි!" එකපාරටම ගුණසිංහ සර් මායම් වෙද්දී අපි සියලු දෙනා අදාළ කොල්ලා දෙස බැලුවෙමු.
මා මීට පෙර ඔහු දැක ඇතැයි නිච්චියක් නැත. ඔහු කෙට්ටු, උස, සුදුමැලි කොල්ලෙකි. කොණ්ඩය වැවී මූණ ට වැටී ඇත. නමුත් ඔහු තුළ වූයේ මහා නසරාණි පෙනුමකි. වරදක් නොකළත්, සැක හිතෙන තරමට ඔහුගේ පෙනුම ප්‍රශ්න සහගතය. ඔහු ගුණසිංහ සර් දෙස බලා බිම බලාගත්තේ ය.
"මං ඒ ගැන බලාගන්නම්. තමුසෙ ඇතුලට යනවා. ගුණසිංහ සර්, මේ ප්‍රිෆෙක්ටලට කතාකරලා යවන්න. ආහ්, වික්‍රමසිංහ වෙල් ඩන්."
මට විදුහල්පතිතුමාගෙ බෙල්ල කන්නට සිතුනේ එවේලෙහිය. මන්ද ඒ ප්‍රශංසාව ලැබුනු සැනින් අර සුදුමැලි කොල්ලා වියරු දෑසින් මා දෙස බැලීය. මගෙ දෙපයේ සිට හිරිවැටී ගියේ ඔහු නිසැකයෙන් ම ඔහුට මේ ඉරණම අත්කරේ මා බව තේරුම් ගන්නට ඇති බව මට තේරුනු නිසා ය. ඔහු විදුහල්පතිතුමා සමග යද්දී මා බයෙන් භිරාන්ත වී බිම බලාගත්තෙමි.
"බොහොම හොඳයි. ශිෂ්‍ය නායකයො මෙහෙම තමයි ඉන්න ඕනේ. එහෙම නැතුව අපිට මේ පාසලේ විනය හදන්න බෑ. පේනවනේ පේනවනේ.. විශේෂයෙන්ම වික්‍රමසිංහ, ඔන්න ඔය ඉව ශිෂ්‍ය නායකයින්ට අත්‍යවශ්‍යයි. අපි අඩුම තරමේ සති දෙකකට සැරයක්වත් මේ විදියේ පරික්ෂා කිරීම් කරන්න ඕනේ. මේකෙන්වත් පාඩමක් ඉගෙන ගනියි නේ. හොඳයි දැන් ඔය ළමයි පංතිවලට යන්න."
ගුණසිංහ සර් කිවූ වචනයක් හෝ මට ඇසුනේ නැත. මා සිටියේ වෙන ලෝකයකය. මගෙ ජීවිතේ ට මෙවැනි අකරතැබ්බයකට මුහුණ දී නැත.
පංතියට යාමට පෙර මා ගීවින්දත් සමග ශිෂ්‍ය නායක කාමරයට ගියෙමි. පැමිණීම සටහන් කිරීම අපේ දෛනික කාර්යයක් වේ. අප යනවිටත් එහි ශිෂ්‍ය නායකයෝ පිරී සිටියහ. මා හඳුනන්නේ ඉන් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් පමණි. ඒ නිසාම මා අත්සන දමා පසෙකට වී පාඩුවේ සිටියේ ගීවින්ද ඔහුගේ සංවාද අවසන් කර එන තුරුයි.
"නෑ නෑ මං නෙවේ විනීත්‍ට හම්බුනේ. ඔව්.. ඔව්. ෆුල් පැක් එකක්. හරි බන්. මං ගියා.."
"......."
නන්නාදුනන මුහුණු රැසක් මා දෙස බලනු මගේ ඇස් කොණෙන් පෙනුණි. මට දැනුනු අපහසුව මගහරවා ගන්නට මම ජනේලයෙන් ඉවත බැලීමි. දැන් නම් මට කේන්‍තිය. නැවත ගීවින්ද සමග ගමන් නොයෑමට මම ඉටා ගත්තෙමි. කොයිතරම් වදයක් ද..
"විනීත්,"
මා හිස ඔසවා බැලුවේ කරුණාවෙන් සිනහ වූ දෑසක් දෙසය. පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා මා ඉදිරියේ සිටගෙන සිටියේය. සිනේත්‍ර අයියා මා හා කුලුපග වූයේ ඔහු මට පෙර සාහිත්‍ය සංගමයේ සභාපති වූ නිසාවෙනි. ඔහු තුළ ඉහළ ශිෂ්‍ය නායකයින් ට උරුම වූ ලොකුකම නැත. මා ඔහුව ප්‍රිය කළෙමි.
"අයියෙ,"
"අද ලොකු සීඅයිඩී වැඩක් කරාලු නේද.." සිනේත්‍ර අයියා අසන්නේ සිනාවෙමිනි.
ඔහු සිනාවෙන විට දෑස් හීනි වේ. ඔහු පළඳින හීනි රාමුවක් සහිත කණ්ණාඩිය ඔහුට වැදගත් පෙනුමක් එක්කර තිබිණි. මා ඔහුට ප්‍රිය කළේ ඔහුගේ නිවුනු පෙනුමට මෙන් ම ඔහු අධ්‍යාපනය ට දැක්වූ දක්ෂතාව නිසා ය. ඔහු ජීව විද්‍යා අංශයේ සුපිරිම මොළකාරයෙකි. නමුත් පාසලේ කලා කටයුතු වලට නිරන්තරයෙන් ම දායක විය.
"අහ්.. ඔව්- ආ නෑ."
මගේ වදන් පැටලීම හමුවේ සිනේත්‍ර අයියා නැවත සිනහවිය.
"සාහිත්‍ය සංගමේ වැඩ හොඳින් වෙනව නේද?"
"ඔව් අයියෙ."
"ගුඩ්. අපි වැඩි දවසක් ඉස්කෝලෙ එන්නෙ නෑ ඊටපස්සෙ මේ හැමදේම බලාගන්න ඕනි ඔයාල."
"හරි අයියෙ."
"හම්බෙමු එහෙනම්."
සිනේත්‍ර අයියා මගේ උරහිසට තට්ටුවක් දමා ඉවතට ගියේ ය. ඔවුන් තව ලොකු කාලයක් පාසල් නොඑයි. උසස් පෙළ ළංවන විට ශිෂ්‍යයින්ගේ පාසල් පැමිණීම පැහැදිලිව ම අඩුවේ. විශේෂයෙන් අපේ වැනි ගම්බද පාසල්වල එය කැපී පෙනෙයි. එය එක්තරා ආකාරයකට සාධාරණ ය. පාසලට වඩා තල්ලුවක් අමතර පන්තිවලින් ලැබීම සදාකාලික සත්‍යකි.
සිනේත්‍ර අයියා ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ ඈතට ඇවිද යනු මම දුටිමි. ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද ගිනිපූග්කාරයෙකි. නම පසන් ය. නමුත් කිසිම ප්‍රසන්න බවක් නැත. ඔහු නීතිය ට වැඩය. මිනිහාට නප්පෙටම තදවෙයි. හමුදාකාරයෙක් වැනිය. විදුහල්පතිට බයනැති පොඩි එව්වෝ ඔහුට බියවෙති. නමුත් ඔහු වගකීම්සහගත හා විනයගරුක ශිෂ්‍යයෙක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඔහු තනතුරට ම ඔබින්නේය. නමුත් මට ඔහු හා බජනයක් නැත.
මං ජනේලයෙන් එළිය බලාගෙන අඩියක් දෙකක් ඉදිරියට පැමිණියෙමි. එකෙණෙහිම,
"ආහ්, කොහෙද ඕයි යන්නෙ!?"
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
Hi~
කලිම් චැප්ටර් එකේ හිටිය අය කෝ කියලා බැලුවද.. ම්ම්..
මේක මහ අමුතුයි කියලා මටත් හිතෙනවා. හඹායමි ඔබව ගේන්නම්. තව මග.
Thank you for reading. Plz comment. Vote if you like. 💚
You are reading the story above: TeenFic.Net