3.

Background color
Font
Font size
Line height


මදි වුනාදෝ

දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා

ඒ නිසාදෝ

වල ගැසුණු දොකොපුල් අතරේ රැදුනේ පෙම් සිනා

මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන ඔය රුව දෙස බලමින් සැනසෙන්නට

මදකට ඉඩ දුන්නා නම් මට
එළිය කරන්නට තිබුනා ඔය හිත

" අප්පට බොල මේ මොකද මේ? "

ලස්සනට මනෝ පාරක් ගහගෙන ප්ලේ වෙවී තිබුන සිංදුවට ලාවට ගිටාර් එකෙන් කෝඩ්ස් අල්ලන ගමන් හිටි මං පියවි ලෝකෙට ආවෙ අපේ ලොකූගෙ කෑගැහිල්ලට, මං ගිටා එක පැත්තක තියලා ප්ලේ වෙවී තිබුන සින්දුව නවත්තලා දැන්මා, මූ එක්ක මොන මනෝ ගැහිලිද.

" ඈ ඕයි ඉස්කෝලේ කෙල්ලෙක් වත් සෙට් උනාද? "

අපේ ඉස්කෝලේ කොහෙද කෙල්ලො මූට පයිතියං,

" ආ ඒකේ කෙල්ලො නෑනේ , ක්ලාස් එකේද?" මෙච්චර වෙලා දොර ගාව හිටන් කතා කරපු ලොකූ ඒක අහුවෙ මං ගාවින් ඉඳගෙන උරහිසෙන් මාව ලාවට තල්ලු කරලා ,දැන් ඉතින් ඕක අහ ගන්න කල් මෙතනින් යන්නෙ නැති වෙයි.

" පිස්සුද ඕයි එහෙම එකක් නෑ "

" ආන්න ඉතින් මේ අයියටනේ උඹ කොලේ වහන්නේ, මෙච්චර දවසක් සිංහල සිංදුවක් දිහා හැරිලාවත් බැලුවෙ නැති එකා හිටපු හැටියේ ප්‍රේම ගීත වලට මාරු වෙලා තියෙන්නෙ නිකම් වෙන්න බෑනෙ. "

ඇත්ත, මං ගොඩක් වෙලාවට අහන්නේ English ඒවා සිංහල අහන් නැතුවම නෙවෙයි ඒත් මං කැමති artist ලා ගොඩක් western. ඒත් ලගකදි ඉඳන් මට සිංහල සිංදු අහන්න හිතෙනවා , මං ඒවා අහන් ගොඩක් වෙලාවට කල්පනා කරනවා මට ඇත්තටම මේ දැනෙන හැඟීම මේ සිංදු වල කියන දේමද කියලා, මං කොච්චර නෑ කියලා හිතුව වුනත් ඒ සිංදු අහන වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ ඒ කම්මුල් වල ගැහෙන හිනාව විතරයි. එයා හිනා වෙනකොට ඒ කලු ඇස් දිලෙසෙන හැටි  සිංදුවක් සිංදුවක් ගානේ මට මැවිලා පේනවා.

ඔව් මටත් නොදැනිම සිහින ටිකෙන් ටික මගෙ හිතට ලංවෙලා, මීට කලිම් කිසිම කෙනෙක් වෙනුවෙන් නොදැනුන හැඟීමක් එයාගෙම කරගෙන, මං කොච්චර උත්සහ කරත් එයා ගැන එහෙම නොහිතා ඉන්න එයා දකින හැම වෙලාවකම වතුර යට හංගපු රබර් බෝලයක් වගේ ඒ හැඟීම් උඩට එනවා.

" ආදරේ නම් කියලා දාපං බං නැත්තම් වෙන කෙනෙක් උස්සන් යනකල් උඹට බලන් ඉන්න වෙයි "

මගෙන් උත්තරයක් නැති තැන ලොකූ අයෙත් කීවේ මගේ පිටට පාරක් ගහලා නැගිටින ගමන්, ඌ කියන තරම් කරන්න ලේසි නම් මොනවා කරන්න බැරිද, සිහින මට සලකන්නේ එයාගෙම සහොදරයෙක්ට වගේ , මේ දේවල් දැන ගත්තොත් එයා මොනා හිතයිද ?

" උඹේ ලව් හුට පට නිසා කියන්න ආපු එකත් අමතක වෙනවනේ, අම්මා කීව අද ඩිනර් ගන්න එලියට යමු කියලා ලෑස්ති වෙනවා සිතූටත් මං කීවා"

" හ්ම්ම් "

අයියා සිතූ කියලා කතා කරන්නෙ සිහිනට , එයාගෙ නම සිහින තූර්ය , ඉතින් ඒක කෙටි කරලා සිතූ කියලා නමක් හදලා, දැන් සිහින අපේ ගෙදර ඇවිත් මාසයක් විතර වෙන්න එනවා, ඒ කාලෙ ඇතුලත කියන්න තරම් ලොකු දේවල් වුනේ නෑ සිහින හැමදාම වගේ මං ගෙදර ඉන්න වෙලාවට හවසට ඇවිත් මාත් එක්ක කියව කියව ඉන්නවා, මං හැමදාම ගෙදර ආවෙ එයාගෙ අතින් හදන් තේක බලාගෙන, මොකද ඒ වගේ වෙලාවට විතරයි එයයි මමයි තනි වෙන්නේ අනික් හැම වෙලාවකම එක්කො එයා අම්මා එක්ක නැත්තම් කාමරේ එහෙමත් නැත්තම් ලොකූ එයාව අල්ලන් පාඩම් කියලා දෙනවා , ඉතින් අපි තනි වෙන ඒ පොඩි වෙලාවට මං හුගක් ආස කරා,

ඒ වෙලාවට එයා කැම්පස් එකේ වෙන දේවල් ගැන, සිනියස්ලා රැග් එක කියලා එයලට කරන්න කියන එක එක විකාර වැඩ ගැන කිය කිය බැන්න එක තමා වැඩියෙන් කරේ.දෙතුන් පරක්ම එයාව තනියම සිනියස්ලාට අහු වෙලා රැග් වෙන්න ගිය වෙලාවක ලොකූ ඇවිත් එයාව බේර ගත්තලු , එයාල තාම දන්නෙ නැතුලු එයා නැවතිලා ඉන්නෙ ඩෙකා ගෙ ගෙදර කියන්න, ඩෙකා කියන්නෙ අපේ අයියගෙ කාඩ් එක. කැම්පස් එක ගැන කියන්න ගිය ගොඩක් වෙලාවට සිහින වැඩියෙන්ම කතා කරේ අයියා ගැන කියලා මට හිතුනා. ඒකට හේතුව මොකද්ද කියන්න මට පොඩි අදහස් තිබුනා උනත් මගෙ හිත ඒක පිලිගන්න කැමති වුනේ නෑ. පටන් ගන්න කලින් ඉවර වෙන ආදර කතාවකට කවුද කැමති.

ඔය වගේ එක එක දේවල් හිත හිත ලැස්ති වෙලා මං පහලට යද්දී අයියත් ලෑස්ති වෙලා සොෆා එකේ ඉඳන් ෆෝන් එක ඔබනවා, අම්මා ගොඩක් කල් ඉඳන් කිය කිය හිටියෙ සිහිනව එලියට එක්ක යන්න ඕනි කියලා එයා ගමේ ඉඳන් ආවත් හරි කැම්පස් එකටයි ගෙදරටයි ආවා මිසක් කොහෙ වත් වෙන ගියෙ නෑ එහෙම තනියම යන්න තරම් එයාට තවම කොළඹ හුරුත් නෑ. මාත් ගිහින් අයියා ළඟ වාඩි උනාම ඌ මං දිලා බලලා ඇහැක් ගැහුවා. මූ දැන් හිතන් ඇති මං කෙල්ලෙක්ට තනියෙන් ලව් කියලා, එක්කො ඔහේ ඕන එකක් හිතා ගන්නැතැයි.

" අනේ මේ බලන්නකෝ, සිහින පුතා හරි හුරතල් පාටයිනේ ඔහොම ඇන්දාම "

අම්මගේ කටහඩට මායි අයියයි දෙන්නම හැරිලා බැලුවේ පඩිපෙළ බැහැන් එන සිහින දිහා, ක්‍රීම් පාට හුඩී එකට බ්ලැක් කලර් ටයිට් පැන්ට් එකක් ඇදලා සුදු පාට ශූ දෙකක් දාලා හිටපු සිහින අපි හැමෝම එයා දිහා බැලුව නිසාද කොහෙද ලැජ්ජාවෙන් බිම බලා ගත්තා, අපි සිහිනව මෙහෙම දැකලා තිබුනෙ නෑ එයා කැම්පස් ඇන්දේ සුදු ශර්ට් එකයි කලු කලිසමයි, එයලව සෝශල් කරනකල් අදින්න ඕනි එහෙමලු, ගමේ ඉඳන් එනකොට තිබ්බ බෙල්ල ගවට වවපු කොන්ඩේ එයා කොට කරලා කපලා තිබුනා ඒකත් එයාලගේ සිනියස්ලා කීව නිසා එදා නම් මට ඔය කියන එවුන් ටික හොයන් ගිහින් දෙකක් ඇනලා එන්න හිතුනා, සිහිනට තිබුනේ ඒ තරම් ලස්සන කොන්ඩයක්, ඒත් කොන්ඩෙ කොට උනා කියලත් එයාගෙ ලස්සනට නම් අඩු වෙලා නෑ,

පඩිපෙළ බැහැන් අවිත් අම්මා ලගින් හිට ගත්ත එයාට අම්ම ඔලුව අතගාලා කිස් එකකුත් දෙන හැටි මමයි ලොකුයි බලන් හිටියා, ඒ වෙලාවේ සිහිනගෙ ඇස් නැවතිලා තිබුනෙ අපි ගාව. නෑ අපි ගාව නෙවෙයි ඒ ඇස් නැවතිලා තිබුනේ ලොකූ ගාව ලොකූ ඇහිබැමක් උස්සලා සිහින දිහා බලන් කට කොනකින් හිනා වෙද්දී සිහින ආයෙත් රතු වෙලා බිම බලා ගන්තා,

මගෙ හිතත් මහ මුරණ්ඩුයි දැන දැනම අමරුවෙ වැටෙන්න දගලනවා. බයෝ පොතේ හදවතට හැදෙන ලෙඩ ගොඩක් ගැන කියලා තිබුනට මේ වගේ වෙලාවට මගෙ හිතට දැනෙන කටුවකින් හූරන් යනවා වගේ හැඟීම ඒ එක ලෙඩකවත් රෝග ලක්ෂණ වල තිබුනෙ නෑ, ඉතින් කරන්න පුළුවන් එකම දේ අහක බලන් ඉන්න එක නෙවේද ?

" අම්මට ඉතින් දැන් අලුත් පුතෙක් ඉන්නවනේ අපිව හලලානෙ "

" අනේ යන්න ලොකූ ඔයාලගෙ ඉරිසියාව, බලන්න ඒ ළමයා ආවට පස්සෙ තමයි මේ ගෙදර ගෙදරක් වගේ තියෙන්නෙ , කොහෙද ඉතින් ඔයාල දෙන්න හිටියට මේ අම්මා ගැන හොයන්න මතක් වෙනවද? එක්කෙනෙක් එන්නේ රෑට රෑ වෙලා අනික් එක්කෙනා ගෙදර හිටියත් වචන දෙකකට වඩා කතා කරනවද, ඊයෙත් සිහින තමයි මගෙ කකුල් රිදෙනවා කියද්දි තෙල් ටිකක් ගාලා දුන්නෙ "

" ඉතින් ඔච්චර අදරේ නම් හැමදාම තියා ගන්න එකනේ තියෙන්නෙ "

" තියා ගන්න තිබුනා ඉතින් මටත් කෙල්ලෙක් වත් හිටියා නම්, " ලොකු කියපු එකට අම්මා උත්තර දුන්නේ මගෙ දිහා බලලා, අම්මත් මොනවා කියනවද මංදා මං කෙල්ලෙක් වුනා නම් සිහිනව මට කසාද බන්දලා තියා ගන්නවා කියලද දැන් ඔය කියන්නෙ, හාට් එකටත් මොකද්ද වුනා මායි සිහිනයි පෝරුවක් ඉන්නවා මැවිලා, අපි දෙන්නම ඇඳන් හිටියෙ තුප්පොට්ටිය , මට ලාවට හිනාවක් ගියේ ඒ නිසා,

" මොකද තමුසෙ හිනා වෙන්නේ? කෙල්ලෙක් වෙලා සිහිනව බඳින හැටි ගැන මනෝ පාරක් ගැහුවා නෙහ්. ඊයා හලෝ "

" අනේ පලයං "

" හා හා ඇති ඇති දෙන්නගෙ කියවිල්ල කෙල්ලො මොකටද හිතුනොත් ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ටම බන්දලා දෙනවා. දැන් යං පරක්කු වෙනවා මට බඩු ටිකක් ගන්නත් තියනවා "

සිහිනවත් ඇඳන් එලියට යන ගමන් අම්මා කිවේ මාවයි අයියවයි දෙන්නවම කන්ෆියුස් කරලා , මං හිතන්නෙ සිහිනත් ශොක් උනද කොහෙද අම්මා කීව දේට.

" මල්ලි "

" ඕ? "

අපි යන්න පිටත් වෙලා ටික දුරක් යද්දී සිහින මට කතා කරා, අයියා ඩ්‍රයිව් කරන ගමන් අම්මා එක්ක බර කතාවක මායි සිහනයි හිටියේ පිටි පස්සේ, එයා මෙහෙම ලගින් ඉන්න වෙලාවට මගේ හිත නොසන්සුන් , ඒ නිසාම මං හිටියේ එයාගෙන් ගොඩක් ඈතට වෙන්න ජනේලෙන් එළිය බලාගෙන එයා දිහා බලන වෙලාවට වැඩි වෙන මගෙ හද ගැස්ම එයාට ඇහෙයි කියලා මං බය වුනා.

" මල්ලී මාත් එක්ක තරහ වෙලාද? " මං ඒ වගේ ප්‍රශ්නයක් එයාගෙන බලාපොරොත්තු වුනේ නෑ , ඇයි එයා එහෙම අහුවෙ ? මගෙ හිත මං කියන දේ අහන් නතුව හිතුවක්කාර වෙන සමහර වෙලාවල් වල මං සිහිනව මග ඇරපු වෙලාවල් නැතුව නෙවෙයි ඒත් එයාට එහෙම් හිතෙන්න තරම් දේවල් මං කරල නෑ,

" නෑ ඇයි එහෙම අහුවෙ? "

" මට හිතුන මල්ලී මාව මග අරිනවද කියලා, මල්ලී පාඩම් කරන වෙලාවට ඇවිත් මං කරදර කරන නිසාද? එහෙනම්.මං ආයෙ නෑවිත් ඉන්නම්"

සිහින එහෙම කියද්දි මට දනුනෙ මගෙහිත කඩන් වැටෙනවා වගේ හැඟීමක් එයා එක්ක ගෙවෙන ඒ පොඩි වෙලාවට මං හුගක් ආදරේ කලා මට එයා දිහා හෙතුවක් නැතුව බලන් ඉන්න , එයාගේ කටහඩ අහන්න හිනා වෙද්දී වල ගැහෙන කම්මුල් වල ලස්සන බලන්න එයා ආස දෙයක් ගැන කතා කරද්දී ලොකු වෙන ඇස් වල මාව හොයන්න නිදහස් තුබුනෙ ඒ පොඩි වෙලාවෙ විතරයි, එයටත් නොදැනි එයාට ආදරේ කරන්න ගත්ත මගෙ හිත ආදරේ නිදහසේ වින්දේ ඒ වෙලාවෙ විතරයි, කෙනෙක් දිහා බලන් ඉදල විතරක් ආදරේ විදින්න පුළුවන් කියලා මං සිහිනගෙන් ඉගන ගත්තා ඉතින් මේ මුරණ්ඩු හිතට සැනසීම දැනෙන ඒ පොඩි වෙලවට ලෝබ වෙන එක වැරදිද ?

" එහෙම දෙයක් නෑ , මං ගෙදර එන්නෙත් ඔයාගෙ තේක බලාගෙන "

මං එහෙම කීවම සිහිනගෙ ඇස් දිලිසුනා, එයා හිනා වෙලා ඇහි බැමත් රැලි කරන් මගෙ පැත්ත හැරුණේ ලොකු දෙයක් අහන්න වගේ ,

" මගෙ තේ එකද රස නැන්දගේ එකද? "

" ඔයාගෙ එක , අපේ අම්මගෙ එකේ සීනි නෑ "

" ඇත්තටම ? "

" ම්ම් "

" මං නැන්දට කියනවා ඔයා එයගෙ තේ රස නෑ කීවා කියලා "

මං මොකුත් කියන්න ඉස්සර සිහින ඉස්සරට බර වෙලා අම්මට අගිල්ලෙන් ඇන්ලා මොන මොනවදෝ රහසෙන් කියලා ආපහු ඉඳ ගත්තා අපේ අම්මත් හැරිලා මට රවලා ඉස්සරහ බලා ගත්තා. මෙලහකට මං කීව නැති ඒවත් දාලා කේලම කියන්න ඇති, එයා මේ වගේ වැඩ කරපු පලවෙනි වතාවා නෙවෙයි , එයා මේ වගේ දේවල් කරලා හුරතලේට හිනා වෙනකොට මගෙ හිතත් පිස්සු නටන්න ගන්නවා. ඉතින් කොහොමද මං ආදරේ නොකර ඉන්නේ?

අපි ඩිනර් වලට කියලා ආවට අම්මට බඩු වගයකුත් ගන්න තියනවා කීව නිසා කෙලිනම් රෙස්ටුරනට් එකකට එන්නෙ නැතුව වන් ගෝල් ෆේස් එකට ආවා. මටයි ලොකූටයි සිහිනටයි ඇවිදිලා ගන්න දෙයක් අරන් එන්න කියලා අම්මා ගියේ අට හමාර වෙනකොට ෆුඩ් කෝට් එකට එන්න කියාගෙන, ආයෙ ඉතින් අට හමාර වෙනකල් අම්මව අල්ලන්න වෙන්නෙ නෑ වන්ගොල් ෆේස් එකෙම තියන ශොප් මදි එයාට ශොපින් කරන්න ගියාම.

අම්මා ගියාට පස්සේ අපි හැදුවේ උඩට යන්න , ලොකු අපිව ඉස්සර කරන් උඩට යන්න ගියා මාත් එක්කම හිටි සිහින එක පාරට නැති නිසා මං පහල බලනකොට එයා එස්කාලේට එක ළඟ නැවතිලා තොලත් හපන් මං දිහා බලන් ඉන්නවා, මං ඉක්මනට පහලට බැහැලා එයා ලගින් හිට ගත්තා

" බය වෙන්න එපා මාත් එක්කම අඩිය තියන්න "

මං එහෙම කීවම සිහින හිනා වෙලා මට එයාගෙ අත දික කරා මං ඒ අතින් අල්ල ගත්තා , ඒ අත සිනිදුයි ඒ තමයි මං මුලින්ම එයාගෙ අතින් අල්ල ගත්ත වෙලාව මට එවෙලෙ දැනුනේ කරන්ට් එකක මගේ ඇඟ පුරා යනවා වගේ හැඟීමක් , අපි උඩට ආවම මුලින්ම මගේ අත අතෑරියෙ සිහින, එයා ටිකක් කලබල වෙලා වගේ කියලා මට හිතුනා එයාගෙ කන් පෙතිත් ලාවට රතු වෙලා බැරිවෙලා හරි එයාටත් මට දැන්න දේ දැනුනා වත්ද? නෑ එක වෙන්න බෑ.

අපි යනකොට ලොකූ ඒ ළඟ තිබුන ඇදුම් කඩයක් ළඟ නැවතිලා අපි එනකල් බලන් හිටියා,

" කොහෙද බං යන්නේ? මං හිතුවා මට පොල්ල තියලා දෙන්නා කොහාට හරි මාරු වෙලා කියලා. " ලොකූ එහෙම කීවේ අපි දෙන්නගෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්.

" සිතූට මොනවා හරි ගන්න තියනවද? " අයියා එහෙම අහුවම සිහින නෑ කියන්න ඔලුව වැනුවා,

" මට ඇදුම් වගයක් ගන්න තියනව ඔයාල එහෙනම් ඇවිදිලා එන්න "

" ඩෙකා අයියේ "

අපිට යන්න කියලා ඇදුම් ගන්න යන්න හැරුණ ලොකු නතර වුනේ අපිට පිටිපස්සෙන් ඇවිත් එයාට කතා කරපු කොල්ලො තුන් දෙනෙක් නිසා, ලොකූ තරමටම් උස මහත් රැවිල් වවන් හිටි ඒ කොල්ලො ටික සිහිනලගෙ කැම්පස් එකේම කියන්න ඊට වඩා සාක්ශි ඕම වුනේ නෑ.

" උඹලා කොහෙද මෙහෙ? "

" ඇයි අපිට එන්න හොද නැද්ද? "

ලොකු අහපු එකට උත්තර දෙන ගමන් එතන මැද හිටපු කොල්ලා බැලුවේ සිහින දිහා, සිහින ඒ ඇස් මග අරින්න වගේ බිම බලගෙන මගෙ පිටි පස්සෙන් හිට ගත්තා ,

" කවුද බං හොද නෑ කීවෙ, මොකද මේක අපේ අප්පච්චිගේ නෙවේනෙ "

ලොකූ ඒ කොල්ලට උත්තර දුන්නේ ඌ කතා කරපු ටෝන් එකෙන්මයි, ඒ කතා කරපු විදියට එයාල ලොකුගෙ යාලුවෝ නෙවේ කියන්න මට තේරුනා.

" අප්පච්චිගේ නම් ඉතින් දකින දකින සුදු මල්ලිලා එක්ක මේකට එන්නේ නෑනෙ නේහ්? "

මූ මේ කතා කරන විදියට මුගෙ හොබ්බට දෙකක් අනින්න හිතෙනවා , මං ලාවට දැක්කා ලොකුත් මිට මොලව ගත්ත අත සාක්කුවට ඔබා ගන්නවා.

" මල්ලී සිහින එක්ක උඩට යන්නකො මං එන්නම් "

ලොකූ එහෙම කීවෙ එතනින් යන්න කියලා ඇස් වලිනුත් ඉගි කරන ගමන් , ඒ වෙලේ එතනින යන එක හොදයි කියලා මටත් හිතුනෙ ඒ ආපු උන් තුන් දෙනාගෙම ඇස් ඒ කතා කරන් වෙලාවේ පවා මගෙ පිටිපස්සට වෙලා හිටපු සිහින ළඟ නැවතුලා තිබ්බ නිසා.

ඉතින් අපි ලොකූව එතන දාලා උඩට ආවා මේ වතාවෙ උඩට එනකොට මගෙ අතින් අල්ලනවා වෙනුවට සිහින මගෙ ෂර්ට් එකේ කොනක එල්ලිලා හිටියාක්

" සිහින දන්නවද එයාලව? "

උඩට ඇවිල්ලත් හැරි හැරී පහල ලොකූල කතා කරන් දිහා බලන සිහිනගෙන් මං අහුවා, එයා හිටියෙ කලබල වෙලා.

" ඒ අපේ සීනියස්ලා තුන් දෙනෙක් , දවසක් එයාලා මාව තනියම රැග් කරන්න ගිය වෙලාවක නිර්වාන් ඇවිත් තමයි ඒක නැවත්තුවේ, කොහොමත් එහෙම එක්කනෙක් විතරක් අල්ලන් රැග් කරන්න තහනම් නිසා ඒ වෙලාවෙ අව්ලක් වුනේ නෑ ඒත් එකට නිර්වාන් එක්ක එයාල තරහෙන් හිටියෙ , දැන් මං නිර්වාන්ව අදුරනවා කියලා එයාල දැන ගනී, අයියට ප්‍රශ්නයක් වේවිද දන්නෑ මල්ලි මං නිසා "

" එහෙම වෙන එකක් නෑ, අපේ ලොකූ උන්ගෙත් සීනියර් නෙහ්, එයා ඒවා බලා ගනී "

මං එහෙම කීවා වුනත් සිහිනගෙ කලබල ගතිය නම් අඩූවක් වුනේ නෑ, අර කොල්ලො ටික ගියට පස්සෙ අපි ගාවට ආපු ලොකූ සිහිනව එහාට එක්ක ගිහින් මොන මොනවාදෝ කීවා සිහිනත් අයියා කියන කියන දේ වලට ඔලුව වැනුවා, සමහරවිට මට කියන්නෙ නැති ලොකු දෙයක් එතන ඇති කොහොමත් අර කොල්ලො ටික සිහින දිහා බලපු විදිය කතා කරපු විදිය මට වැඩිය ඇල්ලිවේ නෑ. එක අතකට ඉතින් එයාලා මට කීව කියලා මං මොනා කරන්නද ? ඒක ඒ දෙන්නගෙ ප්‍රශ්නයක්නෙ. ඒ වෙලාවෙ මට දැනුනේ හරිම එපා කරපු විදියෙ හැඟීමක් අපි ආපහු ගෙදර යනක්ල් වත් මට ඒ හැඟීමෙන් මිදෙන්න බැරු වුනා.

සිහිනට මගෙන් වැඩක් නෑ එයා ගාව හැමවෙලේම ලොකූ ඉන්නවා එක අතකට ඒක සහනයක් උනත් අනික් අතට මම මේ දුවන්නෙ මිරිගුවක් පස්සේ නේද කියලා හිතෙනකොට කියා ගන්න බැරු විදියේ කාලකන්නි හැඟීමක් දැනෙනවා.

හිතට එක්කො තිබුනා නොලැබෙන කෙනෙක් වෙනුවෙන් මේ තරම් නොහැහී ඉන්න.

.........................................................................

සිහිනයි නිර්වානුයි පැත්තකට ගිහින් කුටු කුටු ගෑවෙ මොනවද? 🤔

මේක වැඩිය අදින්නෙ නෑ ඉක්මනට ඉවර කරන්වා.






You are reading the story above: TeenFic.Net