03

Background color
Font
Font size
Line height

තිර රෙදි අතරින් ගලා ආ හිරු රැස් යුවිනුගේ මුහුණ සිපගන්නට විය. යුවිනු ඇඟමැලි කඩමින් ඇඳ මත එ් මේ අත පෙරළුණි. හිරු රැස් නින්දට බාධා කළ බැවින් ඔහු වැතිර සිටි ඉරියව්වෙන් ම උඩු කය පමණක් සෘජුව සිටින සේ ඇඳ මත වාඩි වූයේ ය. පියවි සිහියට පැමිණි යුවිනුට ඔහු සිටින්නේ ඔහුගේ බෝඩිමේ හෝ නිවසේ හෝ නොවන බව වැටහුනි. ඔහු තමා නිදා සිටි කාමරය වෙත පරීක්ෂාකාරී බැල්මක් හෙළීය.

තරමක් විශාල කාමරයක් වූ එහි එක් කෙලවරක අල්මාරියක් ද තරමක් උස කණ්ණාඩි මේසයක් ද ඇඳ අසලින් කුඩා මේසයක් සහ පුටුවක් ද විය.  මේසය මත පොත් කිහිපයක්, රාමු කළ පින්තූරයක් සහ මේස ලාම්පුවක් තිබුණි. කාමරය ගෘහ භාණ්ඩ කිහිපයකින් පමණක් සමන්විත වුවද සියලු ගෘහ භාණ්ඩ මිල අධික විය යුතු බව යුවිනුට නිසැකය. කාමරයේ ප්‍රධාන දොරට අමතරව අනෙක් පසෙන් පිහිටි දොර නානකාමරය සඳහා විය යුතු බව යුවිනු අනුමාන කළේය. තමා පෙර දින ඇඳ සිටි ඇඳුම් මේසය අසල පුටුව මත තිබෙනු දුටු යුවිනු තමා ඇඳ සිටි ඇඳුම් දෙස බැලුවේය. ඔහු ඔහුට තරමක් ලොකු සුදු කමිසයක් සහ කලු කොට කලිසමක් ඇඳ සිටියේ ය.

ඇඳෙන් බැසගත් යුවිනු ඇඳත් මේසයත් අසල වූ ජනේලයෙන් පිටත බැලීය. ඔහු ඉහල මහලයක පිහිටි කාමරයක සිටින බව ඔහුට වැටහිණි. ඔහුට තරමක් විශාල නිවාස කිහිපයක් සහිත වීදියක් දක්නට ලැබුණු අතර වීදිය ජනාකීර්ණ නොවූවක් විය.

මේසය අසල සිටි යුවිනු මේසය මත වූ රාමු කළ පින්තූරය අතට ගත්තේය. එය යුවිනුත් තිසුරත් තිසුරගේ මවත් සමග පාසල් සමයේ ගත් පැරණි ඡායාරූපයක් විය. තමා සිටින්නේ තිසුරගේ නිවසේ බව එවිට යුවිනුට වැටහුනි.

කාමරයෙන් පිටතට ඇවිද ගිය යුවිනුට කොරිඩෝව සහ අනෙක් පස වූ තවත් කාමරයක් දක්නට ලැබුණි. කොරිඩෝව කෙලවර වූ තරප්පු පෙලින් පහත මහලට ගිය යුවිනුට හුරුබුහුටි කුස්සියක් ද එ් අසල වූ කුඩා කෑම මේසයක් ද නිවසේ ප්‍රධාන පිවිසුම් දොර ආසන්නව තිබූ රූපවාහිනිය සහ සැපපහසු පුටු සෙටියක් ද දැක ගන්නට හැකි විය. එකම විශාල කුටියක් තුළ කුස්සිය, කෑම කාමරය සහ සාලය යන තුනම සකසා තිබූ අතර සුදු, කලු සහ කුණු ලේ පැහැයට අමතරව වෙනත් පැහැයක් ගෘහ භාණ්ඩ වල දක්නට නොලැබුණි. බිත්ති සියල්ල සුදු පැහැති විය. එයින් නිවසට ගුප්ත ගතියක් එක් විය.

යුවිනු කුඩා කුස්සියෙහි වූ ශීතකරණය විවෘත කලේය. වතුර බොතල් කිහිපයක්, නැවුම් කිරි බෝතල් කිහිපයක් ඇරෙන්නට එහි කෑමට ගත හැකි කිසිවක් නොවීය. ඉදිරිපස දොර විවෘත වූ ශබ්දය ඇසීමෙන් ඒ දෙස බැලූ යුවිනු ශීතකරණයේ දොර වසා දැමීමට තීරණය කළේය.

කලු පැහැති කමිසයක් සහ කලිසමක් ඇඳ සිටි තිසුර බඩු පිරවූ සිලි කවර කිහිපයක් රැගෙන නිවසට ඇතුළු වූයේ ය. ඔහු දොර අසල වූ සපත්තු රාක්කය අසලින් පැලඳ සිටි පාවහන් ගලවා දමා ගේ තුලට විත් අතෙහි වූ මලු කෑම මේසය උඩින් තැබීය.

"මේකෙ කන්න මොනාත් නෑනෙ" යුවිනු ශීතකරණය දෙස බලා කීවේය.

"මේකෙ තියනවා" කියමින් තිසුර එක් මල්ලක් යුවිනුට පෙන්වීය. ඉන්පසු කුස්සියේ වූ කරාමය වෙතට ගොස් අත් සෝදන්නට විය. යුවිනු තිසුර පෙන්වූ මල්ල වෙතට පැමිණ එය දිග අරිමින් සිටියේය.

"අඩෝ බිත්තර ආප්ප " යුවිනු සතුටින් කෑ ගැසීය. එය යුවිනුගේ එක් ප්‍රියතම ආහාරයක් විය.

"මේ උදේ පාන්දර කොහෙන්ද මේවා?"යුවිනු කෑදරකමින් ආප්පයක් ගෙන තිසුර දෙස බලා විමසුවේ ය.

"කොෆී බොනවද?" තිසුර යුවිනුගේ ප්‍රශ්නය මගහරිමින් ඇසුවේය.

"තේ නැහ්? මේවා එක්ක තේ තමයි සුපිරි" යුවිනු කීවේය. තිසුර නිහඬවම කේතලයෙන් වතුර රත් කරන්නට විය. යුවිනු අතට ගත් ආප්පයත් රැගෙන තිසුර අසලට ගියේය.

"ආ.........ආ........" යුවිනු කෑ ගැසුවේය. එවිට තිසුර තම දකුණු ඇහිබැම ඔසවා යුවිනු දෙස බැලීය.

"ආ කියපිය" යුවිනු නැවතත් කෑ ගැසුවේය. තිසුර ඔහුගේ කට විවර කල පසු යුවිනු එතුලට ආප්ප කැබැල්ලක් එබුවේය.

"තමුසෙ බ්‍රෂ් කරාද?" තිසුර යුවිනුගෙන් ඇසුවේය.

"නෑ...ඇයි ගඳයිද?" යුවිනු කීවේ ය.

"බ්‍රෂ් කරන්නේ නැතුව ද ඔය කන්නෙ?" තිසුර යුවිනු දෙස බලා ඇසීය.

"බ්‍රෂ් එකක් තියෙන්න එපැයි මට" යුවිනු කීය.

"බාත්රූම් එකේ එක්ස්ට්‍රා බ්‍රෂ් එකක් තිබුණනෙ" එවිට තිසුර පිලිතුරු දුන්නේය.

"ආ එහෙමද... කමක් නෑ හරි නම් කාලා තමයි බ්‍රෂ් කරන්න ඕනි" කියමින් යුවිනු ආප්ප කැබැල්ලක් හපන්නට විය.

තිසුර ඒ වන විට තේ සාදා අවසන් කළේ ය. යුවිනු තවමත් එහි සිට ආප්ප ගිල්ලේය.

"මේ මං කියන්නමයි හිටියෙ, මනීෂා තමුසෙට ගැලපෙනවා" යුවිනු තිසුර දෙස බලා මදක් සන්සුන් ලෙස කීවේය. තිසුර යුවිනු දෙස රවමින් එතැනින් ඉවත්ව ඉහළ මහලට ගියේය.

"ඌට යාළුවෙන්න හොඳයි අපිට කියන්න තමයි බැරි" යුවිනු තමාටම කියාගත්තේ ය.
.
.
.
.
.
යුවිනු තමා රෑ ඇඳගෙන සිටි ඇඳුම් ම නැවත ඇඳගත්තේය. ඉන්පසු පහත මහලට ගිය අතර තිසුර ඒ වන විට රූපවාහිනිය අසල වූ පුටුවක් මත හිඳ ජංගම දුරකථනය දෙස බලා සිටියේය.

"කෑල්ල මැසේජ් කරාද?" යුවිනු තිසුර දෙස බලා විහිළුවෙන් කීවේය. තිසුර කිසිවක් නොකියා යුවිනු දෙස බලා, නැවත දුරකථනය දෙස බැලුවේ ය.

"කාර් එකේ යතුර කාමරේ මේසෙ උඩ" තිසුර දුරකථනය පසෙකින් තබමින් කීවේය.

"ආ මං ගත්තා... මගෙ කාර් එක තාම අරෙහෙද?" යුවිනු විමසුවේය.

"නෑ. ඊයෙ රෑ ආවෙ ඒකේ" තිසුර කීය.

"එතකොට ඔයාගෙ එක?" යුවිනු විමසීය.

"මං ආයෙත් ගියා ඒක ගේන්න " තිසුර පිලිතුරු දුන්නේය.

යුවිනු ඉදිරිපස දොර විවෘත කළ එළියට ගියේය. එහි තවත් පඩිපෙළක් වූ අතර එය බිම් මහල වෙත විය. බිම් මහලෙහි වාහන නැවැත්වීම සඳහා ගරාජයක් ද අගුළු ලා වසා තිබූ තවත් කාමරයක් ද විය. ගරාජය තුල යුවිනුගේත් තිසුරගේත් වාහන නවතා තිබුණි.

"ඊයෙ මං උබට වදයක් වුණා නම් සොරි තිසුර " යුවිනු තම හඬ අවදි කළේ ය.

"තමුසෙ කවදා ඉඳන් ද කනමදයා වගේ බොන්න පටන් ගත්තෙ" තිසුර ඇසීය.

"ඊයෙ ඉඳන්. ආ...මම ආයෙ මෙහෙ එන්නෙවත් උබ ගැන හොයන්නෙවත් නෑ. ඒ හින්දා උබ මෙතනිනුත් අතුරුදහන් වෙන්න එපා" යුවිනු තිසුර දෙස බලා කීවේය.

"මං අතුරුදහන් වුණ හේතුව උබ නොදන්නවා නෙවෙයිනෙ. අනික ඒක උබටත් හොඳයි. මං වගේ තිරිසනෙක්ගෙන් ඈත් වෙලා උබත් සතුටින් ඉන්න ඕනිනෙ" තිසුර පැවසුවේ ය.

"මගෙ සතුට?? දැන් උබට පේනවද මගෙන් සතුටක්? උබට දන්නවද මං මෙච්චර කල් සතුටින් හිටියද නැද්ද කියලවත්???" යුවිනු තිසුර දෙස බලා කෑ ගැසුවේ රතු වූ දෑසින් ඔහු දෙස බලමිනි.

"යුවිනු..." තිසුර යුවිනුගේ අතින් අල්ලා බැගෑපත් ලෙස කීවේය.

"උබට මට කෝල් එකක් දෙන්න තිබුණා තිසුර... නම්බර් එකක් නැත්තං මට ලියුමක් එවන්න තිබුණා... අඩුම තරමේ අවුරුද්දකට එක පාරක්වත්" යුවිනු වෙව්ලමින් පැවසුවේ කඳුළු බිඳු එක දෙක මුහුණ දිගේ පහළට වැටෙන විටයි.

තිසුර නිහඬ විය. යුවිනු කඳුළු පිස දමමින් මෝටර් රථය වෙත ගියේය.

.
.
.
.
.
බෝඩිම වෙත ගිය යුවිනු වෙනත් ඇඳුමකින් සැරසී පොලිස් ස්ථානය කරා ගමන් ආරම්භ කළේය. යුවිනු ඒ දිනවල ඝාතන නඩුවක් හා සම්බන්ධ චිත්‍රපටයක් නිර්මාණය කිරීම සදහා කතාවට කරුණු සොයමින් සිටියේය. මේ අතර යුවිනුගේ මිතුරෙකුගේ මිතුරෙක් ප්‍රසිද්ධ දාම ඝාතන සිද්ධිය භාරව පත් වූ නව පොලිස් පරීක්ෂකවරයා බවට පත් විය. යුවිනු ඔහුගේ මිතුරා මාර්ගයෙන් අධ්‍යනයට උපකාර ඉල්ලා සිටි අතර පරීක්ෂකවරයා මුලින් අදිමදි කළත් යුවිනුගේ නම ඇසීමෙන් එයට කැමැත්ත පලකළ බව දැනගන්නට ලැබුණි.

යුවිනු පොලිස් ස්ථානය අසලින් මෝටර් රථය නවතා පොලිස් ස්ථානය තුලට ඇතුළු විය.

"යුවිනු, නියම වෙලාවට ආවෙ. එන්නකො ගමනක් යන්න. මං යන ගමන් විස්තරේ කියන්නම්" ඒ පෙර දින සාදයේදී යුවිනුට හමු වූ විහාරා විය. යුවිනු සැබවින්ම අන්දමන්ද විය. ඒ බව දුටු විහාරා නැවත ඇගේ හඬ අවදි කළාය.

"සංජය ඔයාට කිව්වේ මං ගැන. පොර කිව්වා අද ඔයා එයි කියලා. මම ඊයෙ ඔයාට කියන්න හැදුවේ, ඒත් මම පස්සෙ බලද්දි යුවිනු පේන්න හිටියෙ නෑ"

"අහ් ඔව්, මම කලින් ගියා." යුවිනු කීවේය.

ඉන්පසුව ඔවුන් දෙදෙනා තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ පොලිස් රථයකට නැග ගමන් ඇරඹීය. ගමන අතරතුර දී විහාරා නැවතත් කතාවට මුල පිරුවාය.

"යුවිනුට මතකද ඊයෙ මාත් එක්ක කතා කරපු ගෑනු කෙනා. ඊයෙ රෑ කවුරුහරි එයාව මරලා දාලා"

"ඒ උනාට ඊයෙ එයා පාටි එකේ..." යුවිනු ගොත ගැසීය.

"පාටි එක ඉවර වෙලා ගෙදර ගිහාම තමයි සිද්ධිය වෙන්න ඇත්තෙ. සමහරවිට පාන්දර වෙන්නත් පුලුවන්. එයාගෙ හස්බන් ඩ්‍රයිවර් කෙනෙක්. එයා ඊයෙ රෑ ගෙදර ඉඳලා නැහැ. උදේ පොර ගෙදර එද්දිලු ගෑනු කෙනා මැරිලා කියලා දැකලා තියෙන්නෙ" විහාරා කීවාය.

පොලිස් රථය ප්‍රධාන මාර්ගයෙන් පිට කොන්ක්‍රීට් මාර්ගයක මිටර් දෙසීයක් පමණ ගමන් කර ලා රෝස පැහැති තීන්ත ආලේප කළ මදක් පැරණි පන්නයේ නිවසක් අසල නවතා දමන ලදී. නිවස ඉදිරියේ තවත් පොලිස් රථ ඇතුළු වාහන කිහිපයක් ද වූ අතර පොලිස් නිලධාරීන් ද ප්‍රදේශවාසීන් යැයි සැලකිය හැකි කිහිප දෙනෙක් ද රැස් ව සිටියහ.

යුවිනු රථයෙන් බැස විහාරා පසුපස නිවස වෙතට ගියේය. නිවසේ ප්‍රධාන පිවිසුම් දොර කහ සහ කලු පැහැති "අපරාධ ස්ථානයකි" ලෙස සඳහන් වූ ඉටිකොළ පටි වලින් ආවරණය කර තිබුණි.

"යුවිනුට අවුල් වගේ නම් ඇතුලට එන්න එපා" විහාරා යුවිනු දෙස බලා කීවාය.

"නෑ අවුලක් නෑ " යුවිනු කීවේ ය. දොර වටා තිබූ ඉටිකොළ පටි වලින් පැන විහාරා අපරාධය සිදු වූ ස්ථානය වෙත ගියාය. යුවිනු ඇයව අනුගමනය කරමින් නිවස තුලට ගියේය. ඒ වන විටත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ඒ තුල සිටිනු දැකගත හැකි විය.

සාලය මධ්‍යයේ රතු සිමෙන්ති පොළවෙහි කාන්තාවගේ නිසල සිරුර දක්නට ලැබුණි. ඇය මුනින් අතට වැටී සිටි අතර ඇඳ සිටි රාත්‍රී ඇඳුම ලෙයින් තෙත් වී තිබිණි. ඇගේ ගෙල සහ මුහුණ වම් පසට හැරී තිබූ අතර විවර වී තිබූ දෑස් තුල වේදනාව කැටි වී තිබුණි.

...................

අර කලින් චැප් එකේ ඉස්කෝලෙ වරකාපොල කියල දැම්මට මං දන්න තරමින් එහෙම school එකක් එහෙ නෑ හොඳේ.

එහෙනම් මං යනෝ...


You are reading the story above: TeenFic.Net